කැරම් නිලධාරීන්ගෙන් ක්‍රීඩා ඇමැතිට පැමිණිල්ලක්

0
30

ශ්‍රී  ලංකා කැරම් සම්මේලනයේ පසුගියදා පැවැති නිලවරණය අක්‍රමිකතා රැසකින් සමන්විත වූ බව හිටපු කැරම් සම්මේලන නිලධාරීන් සහ ක්‍රීඩා සමාජ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත සහ අභියාචනා කමිටුව වෙත පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී  ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය අහිමි ක්‍රීඩා සමාජ 23කට සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති ක්‍රීඩා සමාජ දෙකකට ඡන්ද අයිතිය ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබිණි.

එමෙන්ම මෙයටපෙර කැරම් සම්මේලනයේ තනතුරු හොබවද්දී සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දඬුවම් ලබා තහනමකට ලක්ව සිටි නිලධාරීන් දෙදෙනකුගේ නාමයෝජනා පිළිගැනීම සම්බන්ධව කැරම් සම්මේලන නිලධාරීන් හා ක්‍රීඩා සමාජ කිහිපයක් ඉදිරිපත් කර තිබූ විරෝධතා නොසලකා හරිමින් නිලවරණ කමිටුව ඉහත නිලවරණය පවත්වා තිබීම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව ද දැනගන්නට ඇත.

එමෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අභියාචනා කමිටුව සහ කැරම් නිලවරණ කමිටුව වෙත මින් පෙර අවස්ථා කිහිපයකදීම ලිඛිතව දැනුම් දී තිබුණද මෙතෙක් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විමර්ෂණයක් සිදු කර නොමැති බවද පැවැසේ. කැරම් සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කැරම් සම්මේලන සාමාජිකත්වය අහිමිවූ හෝ සාමාජිකත්වය යාවත්කාලීන නොකරන ලද හා තරගාවලි සඳහා සහභාගි නොවන ක්‍රීඩා සමාජ සඳහා නිලවරණයේදී ඡන්ද අයිතිය හිමි නොවේ.

එමෙන්ම ක්‍රීඩා පනතට අනුව යම් මූල්‍ය වංචාවකට වරදකරුවකු වූ අයකුට නැවත කිසිදු දිනයක සංගමයක නිලයක් දැරිය නොහැකි බවද සඳහන්ය. කෙසේ වෙතත් මෙවර කැරම් නිලවරණයේදී ඉහත සඳහන් කළ නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් සියල්ල සිදුව ඇති බවද පැවැසේ.