එක රටක් – එක නීතියක්, වාර්තාව කෝ?

0
102

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනකුගෙන් සමන්විතව. එක රටක් – එක නීතියක් තේමාව පෙරදැරි කොටගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කොට තිබිණි. ඒ මෙයින් දස මසකට පමණ පෙර එනම් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේය. මෙම බළකාය මඟින් සම්පාදනය කරන ලද අවසන් වාර්තාව හිටපු ජනාධිපති වෙත ලබා දුන් බව වාර්තා වුවද වාර්තාවට සිදුවූයේ කුමක්දැයි තවමත් අනාවරණය වී නැත.

වාර්තාවෙහි ඇතුළත් යම් යම් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල අනාවරණය වෙමින් පවතී. ඊයේ අප මව්බිම ඉරිදා පත්‍රයේ ‘සමරිසි නීති වෙනස් කරන්න ඥානසාර හිමිගෙන් නිර්දේශ’ යන මැයෙන් පුවතක්ද පළවී තිබිණි. මංගල දැන්වීම්වල කුලභේදය සම්බන්ධව කාරණා සඳහන් කිරීමට අදාළවද යම් යම් යෝජනා එහි අන්තර්ගත බවද කියයි. ආර්ථික අර්බුදයකට මැදිව සිටින මොහොතක මේ වාර්තාව කාලීන ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව අදහස් කළා විය හැකිය. එහි වරදක් නැත. එහෙත් වාර්තාවේ ඇතුළත් යම් යම් නිර්දේශ මෙසේ සමාජගත වීමෙන් ජනතාව අතර බලවත් කුකුසක් ඇති වීම හා එමඟින් වැරැදි අවබෝධයක් පැනනැඟීම වළකාලිය නොහැකිය. මේ අනුව අපගේ බලවත් ඉල්ලීම වන්නේ පූර්ණ වාර්තාව ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලෙසය. එවිට එය ක්‍රියාවට නැඟීම හෝ බැහැර කිරීම වඩාත් විධිමත්ව සිදුකළ හැකිය.

එක රටක් – එක නීතියක් පිළිබඳ සංකල්පය බුද්ධි ගෝචරය. කාලීනය. නීතිය සියල්ලට ඉහළින් තිබිය යුතු අතර එය රටේ සමස්ත ජනතාවටම සාධාරණ විය යුතුය. ගෝඨාභය රාජපක්‍ෂ පාලනය යටතේ මුලින්ම රටට අහිමිව ගියේද එයයි. එහි අදහස ඊට පෙර පැවැති ආණ්ඩුවලින් ඒ තත්ත්වය ආරක්‍ෂා වූ බවක් නොවේ. රට තුළ පක්‍ෂ, වර්ණ, ජාති කුල මල භේද මෙන්ම ආගමික වෙනස්කම් මුල්කොටගෙන නීතිය හා බලය ක්‍රියාත්මක කළ අවස්ථා ගැන ඕනෑ තරම් හේතු සාධක දක්නට ලැබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත එකම රටක් – එක නීතියක් වාර්තාව භාරදී දැනට දෙමසකට ආසන්න කාලයක් ඉකුත්ව ඇත. බළකායේ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කළ ඥානසාර හිමි විදේශගතව සිටින බව දැනගන්නට ඇත. ගෝල්ෆේස් අරගල බිමෙන් මතුවුණු ඇතැම් සාධනීය යෝජනාද ඥානසාර වාර්තාවෙහි දක්නට ලැබෙයි. කලක් මේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සමරිසි පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ නීතිමය ගැටලුවට අදාළවද සාධනීය යෝජනාවක් එම වාර්තාවෙහි ඇතුළත්ය. කලක් බොදුබල සේනා සංවිධානයටද නායකත්වය දුන් ඥානසාර හිමි මූලික වී ඉදිරිපත් කළ වාර්තාවෙහි වාර්ගිික, ආගමික සහ ප්‍රාදේශීය පදනම් මත දේශපාලන පක්‍ෂ පිහිටුවීම හා පවත්වාගෙන යෑම පක්‍ෂ ව්‍යවස්ථා සම්මතය තහනම් කිරීමට යෝජනා කොට තිබීම සැබවින්ම ප්‍රශස්තය. මහජන නියෝජිතයන්ගේ හා දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ වත්කම් – බැරකම් අනාවරණය සම්බන්ධ යෝජනාවද කාලෝචිතය. තවත් සාධනීය යෝජනා රැසකි.

එක රටක් – එක නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැඟිය යුතු බව වඩාත් අවධාරණය කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැංවීමට සියලු පාර්ශ්වල සහයෝගය ඉල්ලා සිටී. ඉල්ලීම සාධාරණය. මෙරට සියලු පුරවැසියන් එක් පොදු නීතියක් යටතට ගෙන ඒමේ අරමුණ එම ඉල්ලීමෙහිද අන්තර්ගතය. දේශපාලන පක්‍ෂ වශයෙන් හා කණ්ඩායම් වශයෙන් විවිධ මතවාද දැරුවද රට අර්බුදයෙන් ගොඩගැනීමේ කාර්යයේදී සියල්ලට පෙර නීතිගරුක, විනයගරුක සමාජයක් බිහි කරගත යුතුව ඇත. අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගොඩවැදුණු ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව මහ සඟරුවනෙහි අවවාද අනුශාසනාද ලැබිණි. උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය වශයෙන් තවදුරටත් භේදභින්න වී සිටිනු වෙනුවට එක පොදු නීතියක් යටතේ රට එක්සේසත් කිරීමේ අවශ්‍යතාව පෙරට වඩා මේ මොහොතේ වැදගත් වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ එක රටක් – එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානුෂීය සාරධර්ම සාක්‍ෂාත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පිළිබිඹු වන හෙයින් සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සලකන බව තවදුරටත් තහවුරු කළ යුතු හෙයින් “එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බළකාය පිහිටුවන බව ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය. අරමුණ යහපත් වුවද එය ඉටුකරගනු පිණිස ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන අසන්නට ලැබුණේ නැත. ජනාධිපති අතට වාර්තාවක් ලබාදුන් පමණින් අපේක්‍ෂිත රට ගොඩනැඟේ නම් කාර්යය මේ හැටි අපහසුවන්නේ නැත. වර්තමාන ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ආංශික අධීක්‍ෂණ කාරක සභා ස්ථාපනය කිරීමේ ක්‍රමවේදය ජනාධිපති බළකා පත්කිරීමට වඩා පලදායක විය හැකිය. අවශ්‍ය නම් එක රටක් – එක නීතියක් පිළිබඳ බළකා වාර්තාවද ආංශික අධීක්‍ෂණ කාරක සභාවක් වෙත යොමුකොට සාකච්ඡාවට ලක් කළ හැකිය. දැනට ආංශික අධීක්‍ෂණ කාරක සභා 19ක් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. තවත් විශේෂ කාරක සභාවක් මේ ගොනුවට එකතු කිරීම අපහසු කටයුත්තක් වන්නට බැරිය.

හිටපු ජනාධිපතිවරයා ධුරය අතහැර ගියත්, ඔහුගේ පාලන කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවූ හැම වැඩපිළිවෙළක්ම ප්‍රතික්‍ෂේප කළ යුතුද? ඒ කටයුතු නිසි ලෙස වග විභාග කිරීමෙන් රටේ ඉදිරි ගමනට යම් යම් පාඩම් ඉගෙන ගත හැකිය. වැරදුණු තැන් හා වැරැද්දූ තැන් නිසි ලෙස අවබෝධ කර ගත් විට නිවැරදිව ඉදිරි මඟ සකසා ගත හැකිය. අර්බුදයෙන් මිදෙනු හැකිවන්නේ එවිටය.