ආසියානු විස්සයි-20 ක්‍රිකට් කුසලානයට යන ශ්‍රී ලංකා පිලට නවකයන් 5ක්

0
62

තවත් දින 5කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත ආසියානු ක්‍රිකට් කුසලානයට යන ශ්‍රී ලංකා පිල පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර, එම ලැයිස්තුවට නවක ක්‍රීඩකයන් 5ක් එක්ව සිටීම කැපී පෙනේ.

ඒ අනුව පසුගිය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වරම් දිනාගත් 19 වියැති මද වේගපන්දු යවන්නකු වන මතීෂ පතිරණට මෙන්ම පිළිවෙළින් 22 හැවිරිදි වියේ පසුවන නුවනිඳු ප්‍රනාන්දුට (තුන් ඉරියව්) හා ඩිල්ෂාන් මධුසංකට (මද වේග) අවස්ථාව හිමිව තිබීමද විශේෂත්වයකි. එසේම නම් කළ 20 දෙනාගේ සංචිතයට ඇතුළත් කළද ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේදී ඉවත්කළ බිනුර ප්‍රනාන්දු හා කසුන් රාජත වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මධුශාන්ද විස්සයි-20 නවකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටී.

එහිදී මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංක, නුවනිඳු ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මධුෂාන් මේ දක්වා විස්සයි-20 වරම් දිනා නොමැත. එම පිරිස අතුරින් අසිත ප්‍රනාන්දු ටෙස්ට් හා එක්දින වරම් දිනා ඇති නමුත් ප්‍රමෝද් මධුශාන් එක්දින වරම් පමණක් දිනා ඇත.

මේ අතර 2021 වසරේ ජූලි මාසයෙන් පසු අශේන් බණ්ඩාරට මෙන්ම මාස 6කට පසු දිනේෂ් චන්දිමාල්ට නම් කළ සංචිතයෙහි තැනක් හිමිව ඇති අතර, කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

කෙසේ වෙතත් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 27 වැනිදා ආරම්භ වන ආසියානු ක්‍රිකට් කුසලානය සැප්තැම්බර් 11 වැනිදා අවසන් වීමට නියමිතය.

27 වැනිදා පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය සැප්තැම්බර් මස 1 වැනිදා බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා. වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

විචිත්‍ර වීරසිංහ