අභියෝගය නොබියව භාරගත් ජනාධිපතිට සියලුදෙනා සහාය දෙන්න

0
23

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරධූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශීර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවැසූහ.

ඓතිහාසික අනුරාධපුර පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය විහාරාධිපති හිමියන් ඉකුත්දා (20දා) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පැවැති විශේෂ ආගමික වතාවත්වලටද සහභාගි වී ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

මේ අතර ජනාධිපතිවරයා ලංකාරාම මහා විහාරය වෙත පැමිණ ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේද, ථූපාරාම විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කහල්ලේ ඥානින්ද නායක හිමිපාණන් වහන්සේද, මිරිසවැටිය රජමහා විහාරය වෙත පැමිණ විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

ජේතවනාරාම විහාරාධිපති ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක හිමිපාණන් වහන්සේ,  අභයගිරිය රජමහ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය කල්ලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේ සහ ඉසුරුමුණිය රජමහ විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති ආචාර්ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේද බැහැදැක සුව දුක් විමසීය.

අනතුරුව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණ පාලන විහාරාධිපති ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී අටබාගේ විමලඥාන හිමිපාණන් වහන්සේ සහ පාලක විහාරාධිපති හා පරිවේණාධිපති, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික උඩගබ්බල ඤාණාලෝක ස්ථවීරයන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කළ උන්වහන්සේ මෙසේද කීය.

“ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදු වූයේ රට සියලු පැතිකඩයන්ගෙන් අගාධයට වැටී තිබූ මොහොතකයි. ඉදිරියටත් රට වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා සියලු නිවැරදි තීන්දු තීරණවලට මහා සංඝරත්නයේ ආශීර්වාදය හිමි වෙනවා. එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි දක්ෂ හා නිවැරදි කණ්ඩායමක් තෝරා ගනිමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීම උදෙසා එකම අරමුණක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයාට පැවැරෙනවා.

අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති  උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ මෙසේ  කීය.

“රටේ විනය ගොඩනැඟීම පළමු කාර්යයි. විනයක් නැති රටක් කිසිදා ඉදිරියට ගමන් කරන්නේ නැහැ. පාසල් දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද විනයක් තිබිය යුතුයි. සමාජයේ ඉහළ ගෞරවයට ලක්ව සිටි ගුරුවරයා උද්ඝෝෂණ කිරීමට පටන් ගත් නිසා ගුරු වෘත්තියේ විනය ද විනාශ වී ගියා.  පසුගිය සිදුවීම් සමඟ සමාජය තුළ පිරිහී ගිය විනය නැවත ඇති කිරීමට කටයුතු කිරීම ගැන ඔබතුමාට ප්‍රශංසා කළ යුතුයි.

ඒ වගේම අපි දැන් බෙදී වෙන් වී සිටි කාලය අවසන් කළ යුතුයි. දැන් උදාවී තිබෙන්නේ සියලුදෙනා එකට එක්වී වැඩ කළ යුතු කාලයයි.

ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් මෙසේ පැවැසීය.

“අපේ ජනාධිපතිපතිතුමා වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු 30ක් 40ක් අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් හැටියටයි මා එතුමා දකින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරි ශේ‍ර්ෂ්ඨයි. එතුමා හරි නිහඬ චරිතයක්. ගොඩක් කතා කරන්නේ නැහැ. ගොරවන අහස වගේ නෙවෙයි. ඒ නිසා කියනදේ හරියට සාවධානව අහගෙන ඉඳලා හරියට කෙටියෙන් උත්තර දෙනවා.

ඒ උත්තර දුන්නට පස්සේ උත්තර අහපු අය නිරුත්තර වෙනවා. ඒහෙම හැකියාවක් ජනාධිපතිවරයාට තිබෙනවා. අපේ රට මෑතකාලීනව කඩාවැටීම නිසා ඔබතුමාට සිද්ද වුණා මේ රට ගොඩගන්න උරදෙන්න. ඒ නිසා තමයි ජනාධිපති තනතුර එතුමා භාරගත්තේ. කිහිපදෙනකුට මේ තනතුර භාරගන්න එන්න කිව්වාද? නමුත් මෙතුමා රට ගැන හිතලා පළමුව අගමැති පදවිය භාර ගත්තා. ආර්ථික  අගාධයෙන් අපේ රට බේරගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. ඔබතුමා  ජනාධිපති ධුරයට පත්වීම ජනතාවගේ වාසනාවක් හා භාග්‍යක් ලෙස මම සලකනවා.

මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක හිමිපාණෝ මෙසේ කීය.

“රට හමුවේ තිබූ අභියෝග නොබියව භාර ගනිමින් අද රට නිවැරදි මාවතකට ගෙන යමින් සිටින ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සියලු පාර්ශ්වයන් හදවතින්ම ඒකරාශී විය යුතුයි.

එහිදී කිසිවිටෙකත් පක්ෂ පාට, ජාති, ආගම් භේද සැලකිල්ලට ගත යුතු නැහැ. හෘද සාක්ෂියට එකඟවම එය සියලුදෙනාට පැවැරී ඇති ජාතික වගකීමක්.

ජේතවනාරාම විහාරාධිපති ඉහළ මිල්ලෑවේ රතනපාල නාහිමියෝ මෙසේ කීහ.

“රට දියුණු කෙරෙන සාමූහික වැඩපිළිවෙළක් පිළිබඳ සිය ජනතාව අපේක්ෂා සහාගතව බලාසිටිනවා. එම වගකීම ඉටු කිරීමට නොපමාව නායකත්වය ගෙන කටයුතු කරන්න. එකමුතුව වැඩකරන ජනතා ප්‍රශ්න විසඳීමේ ජනාධිපතිවරයාගේ  උත්සාහය අගය කරනවා. ගොවි ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.”

ඉසුරුණිය රජමහා විහාරාධිපති ආචාර්ය මතව සුමංගල නාමියෝ මෙසේ කීහ.

දෙපසින්ම ඇවිළෙන පන්දමක් සේ රට පැවැති යුගයකයි ජනාධිපතිවරයා රට භාර ගනු ලැබුවේ. එම ගිනදැල් නිවා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය තිබෙනවා. ඒ සඳහා අප ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා.

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය‍වරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

සඳුනි ගමාරච්චි