රට පසුපසට යාමට හේතුව ජනපති හෙළි කරයි

2
304

රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමට ත් අප රට පසුපසට ගමන් කිරීමට ත් හේතුව එක්ව වැඩ නොකිරීම බව ය.

ඊයේ (අගෝ. 20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.

එහිදී රටේ විනය ගොඩනැගීම පළමු කාර්ය බව පෙන්වා දුන් නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ, විනයක් නැති රටක් කිසිදා ඉදිරියට ගමන් නොකරන බව ද සඳහන් කළහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජේතවනාරාමය විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර අභයගිරිය විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

ඉසුරුමුණි රජමහා විහාරස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.

ජනාධිපතිවරයා රට භාර ගත්තේ “දෙපසින් ම ඇවිලෙන පන්දමක් සේ” රට පැවති යුගයක බව සිහිපත් කළ උන්වහන්සේ, එම ගිනි දැල් නිවා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන බව සඳහන් කළහ.

ඉසුරුමුණිය පැරණි විහාර මන්දිරය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළ අතර ඉසුරුමුණිය පුද බිම වෙත පැමිණ සිටි දෙස්, විදෙස් සංචාරකයන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක නිරත වූයේ ය.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණි වික්‍රමසිංහ මහතා විහාරාධිපති ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී පූජ්‍ය අටබාගේ විමලඥාන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය.

2 COMMENTS

Comments are closed.