බිත්තර නිෂ්පාදකයෝ පාලන මිලට පයින් ගසති

0
220

රජය විසින් පනවන ලද පාලන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, රුපියල් 55කට අඩුවෙන් බිත්තර අලෙවි නොකරන ලෙස තම සංගමය ගොවියන් දැනුවත් කළ බව ඔහු පැවසීය.

පශු සම්පත් අමාත්‍යංශයෙන් සෑම මසකට ම වරක් බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය ගණනය කර ලබා දෙන බව ත් මේ මස ඒ සඳහා ගණනය කර ලබා දී ඇති මිල රුපියල් 49.50ක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

සභාපතිවරයා අවධාරණය කළේ, එවැනි පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බිත්තර සඳහා පාලන මිලක් නීතියට පටහැනිව පැනවිය නොහැකි බව ය.

ඒ හේතුවෙන් ගොවීන් දැඩි පාඩු ලබනු ඇතැයි ඔහු පැවසීය.

“ගණනය කිරීම් කරලා තියෙන්නේ එයාලානේ. එයාලා කුකුල්ළු හදලා නැහැනේ. පාරිභෝගික ඇමති හදලත් නැහැ. සභාපති හදලත් නැහැ. සභාපති කුකුල්ළු හැදුවට පස්සේ තේරෙයි. රජයේ පශු සම්පත් අමාත්‍යංශයක් මොකට ද තියෙන්නේ? එතැනින් නේ ගන්න ඕනේ. අපි කියන එක නෙවෙයි නේ. ඒ හින්දා නඩු දාන්න බැහැ පැහැදිලිව ම.”

වෙළෙඳ සල් හිමියන් ද පාලන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව ප්‍රකාශ කළේ යැයි සභාපතිවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, බිත්තර බෙදා හැරීම නතර කිරීමට තීරණය කර නොමැති බව ත් වෙළෙඳුන් රු. 55ට ගොවීන්ගෙන් බිත්තර මිලට ගන්නා බව ත් ය.

අගෝ. 19 වන දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට (අගෝ. 22) සිට බිත්තරයක මිල රු. 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබිණි.

ඒ අනුව, මේ වන විට වෙළෙඳපොළේ රු. 60ටත් 61ත් අතර මිලකට අලෙවි වන බිත්තරයක මිල රු. 56ත් 55ත් දක්වා පහළ යාමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එදින ම පියවර ගෙන තිබිණි.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු / රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කෙරිණි.