“වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට නිකං කන්න දෙන්න අපි ලෑස්ති නෑ” – ජනපති (VIDEO)

0
214

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහා ම ඉවත්ව යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝ. 21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නොමැති බව ඔහු එහිදී අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වන අතර ඉදිරියට ද රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කර ගැනීම තම අරමුණ බව ය.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන ලෙසට සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් පවසීය.

“මේ වැඩකටයුතුවලදී විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වගකීමක් පැවරී තිබෙනවා. මොනවද අඩු පාඩු, මොනවද වෙන්න ඕන කියලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න. ඒගොල්ලෝ ඒවා පාර්ලිමේන්තුවේ කතා කරනවා. මේ සියල්ල සමග අපිට පුළුවන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරන්න.

ඒ වගේ ම, බිම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 9 දෙනෙක් විතර ඉන්නවා. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුට ම කොටසක් භාරගන්න කියනවා.

වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නෑ. එම වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා ම අපි ගමෙන් පටන් ගනිමු.”