මට්ටක්කුලිය වරායේ නැවක සිර වී සිටි සේවකයින් දෙදෙනෙක් පැය 4ක මෙහෙයුමකින් බේරා ගැනෙති

0
355

ධීවර අමාත්‍යංශයට අයත් මට්ටක්කුලිය වරාය පරිශ්‍රයේ අලුත්වැඩියා කරමින් තිබූ නෞකාවක ටැංකියක් තුළ සිරවී සිටි සේවකයින් දෙදෙනෙකු මුදා ගැනීමට කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් එම මෙහෙයුම සඳහා සම්බන්ධ වූ ගිනි නිවන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ, පැය 4ක පමණ කාලයක මෙහෙයුමකින් අනතුරුව අදාළ සේවකයින් දෙදෙනා මුදා ගැනීමට හැකි වූ බව ය.

අද (අගෝ. 20) දහවල් 1.30ට පමණ තම ඒකකයට ලද තොරතුරක් මත එම මෙහෙයුම දියත් කළ බව ඔහු පැවසීය.

අදාළ නෞකාවේ ඇති ටැංකියක (water ballast tank) අභ්‍යන්තරයේ සේවකයින් දෙදෙනෙකු තීන්ත අලේප කරමින් සිට තිබේ.

එම අවස්ථාවේදී තීන්ත ආඝ්‍රහණය වීමෙන් එම සේවකයින් දෙදෙනා සිහි මද තත්ත්වයට පත්ව ඇතැයි ගිනි නිවන ඒකකයේ නිලධාරියා පැවසුවේය.

අනතුරුව ඔවුන් දෙදෙනා ඉන් පිටතට ගැනීම සඳහා තවත් දෙදෙනෙකු එම ටැංකිය තුළට ගොස් ඇති අතර ඔවුන් ද තීන්ත ආඝ්‍රහණය වීමෙන් සිහි මද තත්ත්වයට පත්ව ඇත.

කෙසේ වෙතත්, සේවකයින් දෙදෙනා මුදා ගැනීමට අපොහොසත් වූ, පසුව ටැංකියට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා ඉන් පිටටත පැමිණ තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ටැංකිය තුළ සිර වී සිටි සේවකයින් දෙදෙනා මුදා ගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ගිනි නිවන ඒකකයේ නිලධාරියා සඳහා කළේ, එක් වරකට එක් පුද්ගලයෙකුට පමණක් අදාළ ටැංකිය තුළට ඇතුළු විය හැකි සේ එම ටැංකි නිර්මාණය කර ඇති බැවින් සේවකයින් දෙදෙනා මුදා ගැනීමට දැඩි පරිශ්‍රමය දැරීමට සිදු වූ බව ය.

සේවකයින් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.