ලංකාවේ – ඉන්දියාවේ සැරිසරන අලුත් වවුලා (PHOTOS)

0
2006

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජීවත් වන නව වවුල් විශේෂයක් සොයා ගැනීමට මෙරට වවුලන් පිළිබඳ අධ්‍යයනවල නිරත තරුණ ජීව විද්‍යාඥයෙකු වන තාරක කුසුමින්ද ප්‍රමුඛ දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත.

‘පිලිප්ස්ගේ දික් පිය වවුලා’ ලෙස නම් කර ඇති මේ නව වවුල් විශේෂය විද්‍යාත්මක බසින් ‘Miniopterus phillipsi’ ලෙස හැඳින් වේ.

දශක අටකට පසු මෙරටින් හා ඉන්දියාවෙන් නව Miniopterus ගණයට අයත් වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව සැලකේ.

එමෙන් ම, ආසියාවෙන් දශක හයකට පසුව මේ ගණයට අයත් නව වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව ද මෙය ලෙස හැඳින්වේ.

මින් පෙර ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් මේ නව වවුල් විශේෂයට අදාළ සත්වනිදර්ශක හමුවී තිබුණ ත් ඒවා වෙනත් වවුල් විශේෂයකට අයත් ඒවා බවට නිගමනය කොට ඇත.

මේ වවුල් විශේෂයේ සුබෙදු විද්‍යාත්මක පසුබිම, රූප විද්‍යාත්මක මෙන් ම ජාන විද්‍යාත්මක දත්ත ද මේ පර්යේෂණයට යොදා ගෙන ඇති අතර එහිදී මින් පෙර මේ වවුල් විශේෂය, ‘Miniopterus fuliginosus’ නම් විශේෂය ලෙස වරදවා හඳුනාගෙන ඇති බව පර්යේෂණ කණ්ඩායම අනාවරණය කොට ගෙන තිබේ.

මෙරටින් අවසන් වරට නව වවුල් විශේෂයක් ලොවට හඳුන්වා දෙනු ලැබ ඇත්තේ, 1932 වසරේ W.W.A. Phillips විසිනි.

ශ්‍රී ලංකාවේ ක්ෂීරපායි සතුන් පිළිබඳව පර්යේෂණ විශාල ප්‍රමාණයක් කරමින් එම ක්‍ෂේත්‍රයට අසමසම සේවාවක් කළ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන W.W.A. Phillipsට ගෞරවයක් ලෙස මෙම වවුල් විශේෂය ‘පිලිප්ස් ගේ දික් පිය වවුලා’ ලෙසින් නමින් නම් කිරීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කර ඇත.

මෙරට ස්ථාන කිහිපයකින් එකතු කරන ලද සත්ව නිදර්ශක හා ලෝකයේ විවිධ කෞතුකාගාරවල තැන්පත් කර ඇති සත්ත්ව නිදර්ශක විශාල ප්‍රමාණයක් මේ පර්යේෂණය සඳහා පාදක කොටගෙන තිබේ.

නව විශේෂයට අදාළ දර්ශීය නිදර්ශක ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පිහිටා ඇති බයෝ ටී ගාර්ඩ්න් තේ වතුයාය අසලින් සොයා ගෙන ඇති අතර අමතර නිදර්ශක අරණායක සඳරාජ වනය, තලවකැලේ, වැල්ලවාය, වවුල් ගල්ගේ, වවුල්පනේ හුනුගල් ගුහාව යන ස්ථානවලින් ද සොයාගෙන ඇත.

මෙම වවුල් විශේෂය අප රට තුළ තෙත් හා අතරමැදි පරිසර කලාප තුළ සාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කළ ද වියළි කලාපයේ ස්ථාන කිහිපයකින් ද වාර්තා වන බව පැවසේ.

මෙරට තුළ සිදුවන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිවලට මුවා වී කරන පරිසර පද්ධති විනාශය මේ සතුන්ට ඇති ප්‍රධාන තර්ජනයක් බව හඳුනා ගෙන ඇත.

මෙම වවුල් විශේෂය සිය වාසස්ථාන ලෙස තෝරා ගන්නා විශාල ගල් පර්වත, කළු ගල් විවිධ අවශ්‍යතා සඳහා විනාශ කිරීම මේ වවුල් විශේෂයේ ඉදිරි පැවැත්ම සඳහා ඍජුව බලපාන බව ද පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්හ.