“රාජ්‍ය ඖෂධ සංස්ථාව බිඳවැටීමේ අවදානමක්”

0
377

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කටත් වැඩි ප්‍රමාණයක හිඟයක් රටේ පවතිද්දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව මිල නියාමන ක්‍රමවේදයකින් තොරව ක්‍රියා කිරීම හේතුවෙන් මාස හයක් තරම් කෙටි කාලයක් තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බිඳවැටීමේ අවදානමක් පවතින බව එම සංස්ථාවේ වෘත්තීය සමිති හා ඖෂධ සැපයුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ, සංස්ථාවේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ දුර්වල කළමනාකරණය යටතේ පවත්වාගෙන ගිය සංස්ථාව ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් නොගෙවා හිඟ තබා තිබෙන බවත් වර්තමානයේ ඖෂධ ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් නොතිබීමත් ඖෂධ නියාමන අධිකාරියට මිල නියාමන සූත්‍රයක් නොතිබීමත් හා එම කමිටුවේ උදාසීනත්වයත්, ඖෂධ ආනයනයට ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුව ඖෂධ ආනයනයට මුදල් වෙන්කර දී ඇතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව අවශ්‍ය මිල සූත්‍රයක් පිළියෙල නොකිරීමත් මේ ඖෂධ හිඟයටත් සංස්ථාව සතු ඖෂධ හල්වල අලෙවි කෙරෙන ඖෂධ ප්‍රමාණය බෙහෙවින් හිඟවීමත් නිසා මේ කනගාටුදායක තත්ත්වය උදාවී තිබෙන බව ය.

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයා සමග පසුගිය අගෝස්තු 8 වන දා පැවති සාකච්ඡාවේදී ක්‍රමවත් මිල නියාමන සූත්‍රයක ඇති අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර වහා ම මිල නියාමන සූත්‍රයක් එළිදැක්වීමට ඇමතිවරයා එකඟ වී ඇතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව එම අවශ්‍යතාව ඉටු කිරීම නිරන්තරයෙන් ප්‍රමාද කරන බව ත් පවසයි.

එසේ ම, මෙම මිල නියාමන කමිටුවේ අවුරුදු 80 තරම් වයසැති කමිටු සාමාජිකයන් තබාගෙන මිල නියාමන සූත්‍රයක් හඳුන්වා දෙන්නේ කෙසේදැයි අදාළ අංශවල බලධාරීහු ප්‍රශ්න කරති.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවට නැවත ලියාපදිංචිය අලුත් කිරීමට ඉදිරිපත් කර ඇති ඖෂධ වර්ග 600ක් පමණ ගෙන්වා ගැනීමට අදාළ ලිපිගොනු ගොඩ ගසාගෙන තිබෙන බව ත් අලුතින් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු 200ක් පමණ අනුමැතිය නොදී ගොඩගසා තිබෙන බවත් වාර්තා වේ.

මේ තත්ත්වය හමුවේ සැපයුම්කරුවෝ ඖෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා සිටිති.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ පවතින දුර්වලතාව සහ උදාසීනත්වය හමුවේ රෝහල්වලට ප්‍රතිකාර ලබා ගන්නට එන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව මියැදෙන්නට සිදුවන තත්ත්වයක් මේ නිසා උදාවී තිබේ.

ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ සාමාජිකයන්ගේ සුදුසුකම්, වයස, මිල නියාමනය පිළිබඳ තිබෙන අත්දැකීම් හා මේ වන විට මිල නියාමනය සඳහා යොදා ගන්නා ක්‍රියාදාමයන් මොනවාදැයි සොයාබලන ලෙස ඖෂධ සංස්ථාවේ හා ඖෂධ ආනයනකරුවන්ගේ සංගම් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රධාන වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කරයි.