අරගලකරුවන්ට පිළිතුරු දෙන්න පොහොට්ටුව අළු ගසා දමා නැගිටියි

4
1360

අරගලකරුවන්ගේ උද්ඝෝෂණයෙන් දේශපාලන වශයෙන් පසුබෑමකට ලක්වූ පොහොට්ටු පක්ෂයට දැන් වහා ම ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන්නයි එම පක්ෂයේ ප්‍රාදේශයේ පාක්ෂිකයින් නායකයන්ට බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ.

මේ බලපෑම පටන්ගෙන තිබෙන්නේ කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කඳවුරක් ලෙස සැලකුණු ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයෝ ය.

පසුගිය සති අන්තයේ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු නායක ඇමති ප්‍රසන්න රණතුංග එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ක්‍රියාකාරීන් කැඳවා තිබූ රැස්වීමකදී ප්‍රාදේශීය සභා සභාපතිවරු ඉහත බලපෑම කරන්නට වූහ.

මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් නායක ප්‍රසන්න, “මෙහෙම ඉඳලා බෑ. දැන් අපි අපේ දේශපාලන වැඩ පටන්ගන්න ඕනෑ. අරගලකාරයෝ, ජේ.වී.පී. හා සජබ අපට එරෙහිව එකතුවෙලා බොරු පතුරුවමින් දේශපාලන මඩ ගහනවා. අපි ඒවාට පිළිතුරු දෙන්න ඕනෑ. ඒගොල්ල කරන අභියෝග නතර කරන්න අපේ දේශපාලනය දැන් දියත් කරන්න ඕනෑ,”යි කීවේය.

දැනට පොහොට්ටුවේ පවතින දේශපාලනය ගැන අදහස් දැක්වූයේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධනයි.

“අපි මුළු කාලය ම කැප කළේ එජාප විරෝධී දේශපාලනය සමගයි. නමුත් අපි බලයට ආවට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වැඩක් කරන්න කාගෙන්වත් උදව්වක් උපකාරයක් ලැබුණේ නෑ. අද ජනතාව ප්‍රශ්නවලින් වෙළිලා. එක එක මග (වියත්මග) කියලා කට්ටි ගෙනත් දැම්මත් දැන් ඒ අය පැත්ත පළාතෙවත් නෑ. පැදුරටත් නොකියා පැනලා ගිහින්.”

මේ සාකච්ඡාවට නාලක ගොඩහේවා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න ගම්පහ පොහොට්ටු මන්ත්‍රීවරුන් තිදෙනා සහභාගි වූයේ නැත. මෙහිදී ඇමති ප්‍රසන්න මේ විධියේ ප්‍රකාශයක් ද කළේ ය.

“අර්බුදකාරි තත්ත්වයෙන් රට බේරාගත හැකි එක ම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දුටු බැවින් ඔහු ජනාධිපති කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළා. ගෑස්, ඉන්ධන හිඟය තුරන් කරමින් නව ජනාධිපතිවරයා රට නිවැරදි දිශාවට මෙහෙයවමින් සිටිනවා. ඒ අනුව, තම පක්ෂය ගත් තීරණය නිවැරදි බව මේ වනවිට තහවුරු වී තිබෙනවා,”යි ප්‍රසන්න කීවේය.

පොහොට්ටුව තවමත් තිබෙන දේශපාලන හයිය ගැන ප්‍රසන්න කීවේ මෙහෙම කතාවකි.

“69 ලක්ෂයේ ජනවරම අවසන් බවට ඇතැමුන් සිතුවත් පාර්ලිමේන්තුවේ තවමත් තිබෙන්නේ 2020දී පොහොට්ටුවට ලැබුණු ජනවරමයි. එය අමතක කොට පාර්ලිමේන්තුව තුළ මෙන් ම ඉන් පිටතදීත් කිසිවකුටත් කටයුතු කරන්න බෑ. පක්ෂ, ශාඛා, සංවිධාන තවමත් අප සමඟ සිටිනවා. පක්ෂය නම් පසුබෑමකට ලක්ව තිබෙන බව පිළිගන්නවා.”

4 COMMENTS

  1. පොහොට්ටු හොරු නඩය පාරට ආපු දවසට තමයි 69 ලක්ෂ ජන වරම කොහොමද කියලා බලන්න පුළුවන්. අනේ ඉක්මනට වරෙල්ලා පාරට

Comments are closed.