සමරිසි නීති වෙනස් කරන්න ඥානසාර හිමිගෙන් නිර්දේශ

0
318

සමලිංගික සේවනය අපරාධ වරදක් බවට දැනට පවතින නීතිය වෙනස් කළ යුතු බවට එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමෙන් මෙම නීති සංශෝධනය කළ යුතු බවට එම කාර්ය සාධක බලකාය නිකුත් කළ අවසන් වාර්තාවේ නිර්දේශවල සඳහන් වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) යන වගන්ති මගින් දැනට සමලිංගික සේවනය අපරාධ වරදක් හැටියට සැලකෙන බැවින් එම වගන්ති සංශෝධනය හරහා මෙම පියවර ගත හැකි බව එම නිර්දේශවල විස්තර කර තිබේ.

කෙසේ වෙතත් සමලිංගික විවාහය යන සංකල්පයට කවර ආකාරයකින් හෝ නෛතික වලංගුභාවයක් නොදිය යුතු බවට ද එහි නිර්දේශ කර ඇත.

මේ අතර, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි සමාජයෙහි පවතින අගතිගාමී ආකල්ප වෙනස් කිරීමට සහ ඔවුන්ගේ සුබසාධනය පිණිස රාජ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි ද කාර්ය සාධක බලකාය පවසයි.

ඒ අනුව, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට රජයෙන් වෙන ම අනන්‍යතා සහතිකයක් නිකුත් කිරීමට ද එමගින් නිර්දේශ කර තිබේ.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ‘සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාව පිළිගැනීම සඳහා වූ සහතිකය නිකුත් කිරීම’ මැයෙන් දැනට ම නිකුත් කර ඇති චක්‍රලේඛය සහායට ගත හැකි යැයි ද සඳහන් වේ.

මේ අතර, කුල සාධකය ප්‍රවර්ධනයට ප්‍රසිද්ධ ජනමාධ්‍ය අවකාශය ලබා නොදීම සඳහා පත්‍රකලාවේදීන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මවලට නව රීති හඳුන්වා දිය යුතු බවට ද කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත.

කුලය පිළිබඳව සඳහන් කරමින් ප්‍රසිද්ධ ජනමාධ්‍යයෙහි පළ කරනු ලබන මංගල යෝජනා ආදිය ඇතුළත් වෙළෙඳ දැන්වීම් හරහා කුල ක්‍රමය පවත්වා ගෙන යාමට අගතිගාමී දායකත්වයක් ලබාදීම මෙම නිර්දේශ සඳහා නිරීක්ෂණයක් වශයෙන් එහි දක්වා තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විතව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලද්දේ 2021 ඔක්තෝබර් මාසයේදී ය.

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානුෂීය සාරධර්ම සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පිළිබිඹු වන හෙයින් සියලු ම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සලකන බව තවදුරට ත් තහවුරු කළ යුතු හෙයින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවන බවට ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය.