අනුරාධපුරේ ගිය ජනපති අටමස්ථානාධිපති හිමි සමග රටේ ආර්ථිකය ගැන පැවසූ දේ (VIDEO)

0
261

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (අගෝ. 20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේදී ය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.

එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

අටමස්ථානාධිපති නා හිමිපාණන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ, කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බව ය.

මහා විහාරයේ කැණීම් කටයුතු කඩිනම් කරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ තුළින් මියන්මාරය, බුරුමය වැනි රටවලින් සංචාරකයන් විශාල පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියේ ය.

ගොවි ජනතාවට පොහොර සහානාධාරය ලබා දීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක එහිදී පැවසීය.

එමෙන් ම තේ, රබර්, පොල් සහ බඩඉරිගු වැනි බෝග ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමට ද රජය කටයුතු කරමින් සිටන බව ත්, බීජ ආනනය සඳහා මෙවර අතුරු අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙන බව ත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.