සමඟි වෙන්න භේද භින්න නොවන්න

0
46

ඉතිහාසයෙහි අෑත මෑත සෑම යුගයකම මිනිසාට සහ සමාජයට විශිෂ්ට මාර්ගෝපදේශකයකු වී ඇත්තේ ආගමයි. බුදු දහම වූ කලී එක් අතකින් මධ්‍යස්ථ දේශනාවකි. බුදුරජාණන් වහන්සේ කිසිවකුට පක්‍ෂ නොවූහ. විපක්‍ෂද නොවූහ. බුදු දහමෙහි මූලික පරමාර්ථය වන්නේ සහජීවනයයි. එක්ව විසීම, එකට ජීවත්වීම, අන්‍යයන්ගේ අදහස් හඳුනාගෙන ජීවත් වීම සහජීවන සංකල්පයන් ලෙස බුදු දහම හඳුන්වාදී ඇත. බුදු දහම නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ අන්‍යයන්ගේ අදහස් එකවර ප්‍රතික්‍ෂේප නොකර කටයුතු කරන ලෙසයි.

එසේම ස්වකීය මනස සාමය සඳහා විවෘත විය යුතු බවත් මනස එසේ නොතබා කරන සාකච්ඡා ඵල රහිත බවත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පෙන්වා දී ඇත. තවද පුද්ගලයකු විසින් යම් ක්‍රියාවක් සිදු කිරීමට පෙර එම ක්‍රියාව සිදු කළ යුතුද නැතිද යන වග තෙවරක් සිතා බැලිය යුතුය. එනම්,

–              තමා කරන ක්‍රියාව තමාගේ හිත සුව පිණිස පවතීද?

–              එම ක්‍රියාව සමාජයේ යහපත පිණිස පවතීද?

–              උභය පක්‍ෂයේම යහපත පිණිස පවතීද?

යන්නයි. මෙම කාරණා ත්‍රිත්වයෙන් පැහැදිලි කරනු ලබන්නේ පුද්ගලයා තුළ සුවිශේෂ වශයෙන් සහජීවන සංකල්ප පැවැතිය යුතු බවයි. එය ආරම්භ විය යුත්තේද ක්‍රියාත්මක විය යුත්තේද පුද්ගලයා කෙරෙන්මය. එය සමාජයට පවරා බලා සිටිය නොහැකිය.

සහජීවන සංකල්පය බුදු දහම තුළ හෙළි කර ඇති ප්‍රධාන කරුණක් වන්නේ සප්ත අපරිහානීය ධර්මයි. අපරිහානිය යනු නොපිරිහෙන යන තේරුම සහිත වචනයකි.

එම කරුණු හත නම්,

–              නිතර රැස්වීම

–              එක්ව රැස්වීම, එකට නැඟී සිටීම, එකට වැඩ කිරීම

–              නොපැනවූ නීති නොපැනවීම, පැනවූ නීති ආරක්‍ෂා කිරීම.

–              මහණ බමුණන්ට ගරු සැලකිලි කිරීම.

–              කුල කතුන්, කුල කුමරියන් ආරක්‍ෂා කිරීම

–              රට තුළත් ඉන් පිටතත් ඇති ආගමික ස්ථානවලට ගරු කිරීම

–              සතුටින් විසිර යෑම

මෙම කරුණු පිළිබඳ එකින් එක විමසා බලන විට පැහැදිලි වන්නේ සෑම කරුණකින්ම අපේක්‍ෂා කර ඇත්තේ සහජීවනය බවයි. සහජීවනය රැකීම සඳහා නිතර නිතර එක්රැස් විය යුතුය. එය මිත්‍රත්වයෙන් සමඟියෙන් කළ යුතුය. එසේ නොමැතිව කොපමණ රැස් වුවද ඵලක් නැත. සමාජ අදහස්වල එකමුතු බව බොහෝ සෙයින් වැදගත් වන අතර ජීවිතය මෙන්ම සමාජයද රුව ගුණින් සැරසෙන්නේ එබඳු අවස්ථාවලදීය.

යහපත් පෞරුෂයකින් පිරී ගිය පුද්ගල චරිතයක් සඳහා සහජීවනය වැදගත් වන අතර ඒ සඳහා පුද්ගලයා විසින් වර්ධනය කර ගත යුතු ගුණාංග කිහිපයක් වෙයි. අර්ථවත් සමබර පෞරුෂයක් ඇති වන්නේ එවිටය. තවද යම් පුද්ගලයකුගේ මානසිකත්වයක් තුළ වර්ධනය කරගත යුතු ලක්‍ෂණ කිහිපයක් පිළිබඳ බුදු දහමෙහි දක්වා ඇත. අටලෝ දහම

(ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක්) යනුවෙන් හඳුන්වන එම ධර්මතා අට තුළින් සාමාන්‍ය පුද්ගලයා බලාපොරොත්තු වන්නේ කරුණු සතරකි. එනම් ලාභ, යස, ප්‍රශංසා සහ සැප යන කරුණුයි. එහෙත් බුදු දහමෙහි පවසන්නේ පුද්ගලයා විසින් මේ ලක්‍ෂණ අටටම මුහුණ දිය යුතු බවයි.

සහජීවනය පිළිබඳ බෞද්ධ සංකල්ප විමසා බලන විට චූල ශෝසිංහ වන සූත්‍රය අපට ඉතා වැදගත් ප්‍රවේශයක් සපයයි. බුදු දහමෙහි මූලික අදහස වන්නේ පොදු අරමුණක සිට කටයුතු කිරීමයි. යම් රටක හෝ ගමක හෝ නිවෙසක සහජීවනය කඩවුණි නම් එයට ප්‍රධාන හේතුව අප වන්නේ අන්‍යයන් පිළිබඳ නොසිතන නිසාය. එම අවස්ථාවේදී පළමුව කළ යුත්තේ අප තුළින් සිදුවූ වරද පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමයි. ගැටලුව කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමයි. මුලින්ම ගැටලුවට නොව ගැටලුව හට ගැනීම සඳහා බලපෑ හේතුවට ප්‍රතිකර්ම කරන්නේ කෙසේද යන වග සියුම්ව හඳුනාගත යුතුය. එසේ හඳුනා ගැනීමට පුද්ගලයකු සතුව බුද්ධිමත් මානසිකත්වයක් තිබිය යුතුය.

බුදු දහමෙහි උගන්වනු ලබන පංචශීලයෙන්ද ඉස්මතු කරනු ලබන්නේ පුද්ගල සහජීවනය පිළිබඳවයි. ඒ සඳහා විරමනය පමණක් ප්‍රමාණවත් නැත. සමාදානයද තිබිය යුතුය. සෑම ශික්ෂා පදයකින්ම නොකළ යුතු දෙයින් වැළකීම (විරමනය) සහ කළ යුතු දෙය පිළිබඳව (සමාදානය) පංචශීලය තුළින් අවධාරණය කර ඇත.

–              පරපණ නැසීමෙන් වැළකී, සතුන්ට හිංසා කිරීමෙන් වැළකී, අවි ආයුධ නොගෙන, පාපයට ලැජ්ජා ඇතිව දයාවෙන් යුතුව සියලු සතුන්ට අනුකම්පා කරන්න.

–              නුදුන් දෙය ගැනීමෙන් වැළකී, නුදුන් දෙය නොගෙන, දුන් දෙය රැගෙන, වංචා රහිතව පිරිසුදු සිතින් දුන් දෙය ගන්න.

–              බ්‍රහ්මචාරීව, කම් සැපයෙන් වෙන්ව ස්ත්‍රී සේවනයෙන් මෙන්ම දුරාචාරයෙන් වෙන්ව වසන්න.

–              බොරු කීමෙන් දුරුව ඉන් වැළකී, සත්‍ය පිළිගනිමින්, සත්‍යයට ගරු කරමින් වාසය කරන්න.

මෙම ශික්‍ෂා පද තුළින් පැහැදිලිවම බෞද්ධ ආකල්ප හෙළිවන අතර නරක දෙයින් අෑත්වීම පමණක් සහජීවනය නොවන බව බුදු දහමෙහි දක්වා ඇත. තවද අන්‍යයන් හට කරදර සහිත ක්‍රියාවලින් අෑත්වීම පමණක් සහජීවනය ලෙස අර්ථ ගැන්විය නොහැකිය. පුද්ගලයා එසේම සමාජගත සත්ත්වයකු වශයෙන් යම් ක්‍රියාවන් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. මන්ද තමා කරනු ලබන ක්‍රියාව නිසා අන් කෙනකු විපතට පත්විය හැකි නිසාය. ඒ පිළිබඳව හොඳම නිදසුන් පසුගිය සමයේ අපට සමාජය තුළින් දකින්නට ලැබිණි. මේ දිනවල රට පෙළෙන අර්බුදකාරී කාල වකවානුවේදී තිබෙන ගැටලු සමඟ මිනිසුන් පෙළෙන්නේ නැතිනම් ක්‍රියා කරන්නේ අන් අය පිළිබඳ නොසිතමින්ය. යම් ක්‍රියාවක් කිරීමට පෙර තෙවරක් සිතා බැලිය යුත්තේ ඒ නිසාය.

“යම්  කිසි ක්‍රියාවක් කර එය නැවත කඳුළු පිරි මුහුණින් යුතුව සිහි කිරීමට සිදු වන්නේ නම් එබඳු ක්‍රියාවක් නොකිරීම සුදුසුයි.”

“යම් ක්‍රියාවක් සිදු කළ පසුව ඒ ක්‍රියාව පිළිබඳ පසුතැවිලි නොවේද එබඳු ක්‍රියාවක් කරන්න”

යනුවෙන් බෞද්ධ ඉගැන්වීම් තුළ පෙන්වා දී ඇති අතර යම් ක්‍රියාවක ප්‍රතිඵලය මිහිරිදායක නොවන්නේ නම් එහි ප්‍රතිඵලය පුද්ගලයාට සහ සමාජ පරිහානියට හේතු වනු ලැබේ. එසේම බුදු දහම ක්‍රියාවේ ප්‍රතිඵලයට වැඩි අවධානයක් යොමු කරන අතර එයට හේතුව වන්නේ සමාජ සහජීවනය අරබයා හේතුකාරක වන්නේ ප්‍රතිඵලය නිසාය.

බුදු දහම ගිහි පක්‍ෂයට නීතිරීති පනවා නැතත් පැවිදි පක්‍ෂය වෙනුවෙන් නීතිරීති පනවා ඇත. එය හඳුන්වනු ලබන්නේ ප්‍රාතිමොක්ෂය යන නමිනි. එහිදී භික්‍ෂුන් වහන්සේලා සඳහා පනවා ඇති විනය නීති හමුවන අතර ඒවා තෙවැදෑරුම්ය. එනම් ඡේද ගාමිණී, උට්ඨාන ගාමිණී සහ දේශනා ගාමිණීයි. මෙලෙස ශික්ෂා පද පැනවීම මඟින් බුදු දහම බලාපොරොත්තු වූයේ භික්‍ෂුවට දඬුවම් පැමිණවීම නොව උන්වහන්සේලා කෙරෙහි සහජීවනය ඇති කිරීමයි.

සුහදතාවයෙන් තොරව ජීවත් වීමට බුදු දහම රුචියක් නොදක්වන අතර බෞද්ධ විනය ග්‍රන්ථ අධ්‍යයනය කර බලන විට ඇතැම් සංසිද්ධි තුළින් එනම් බුද්ධ චරිතයේත්, බුද්ධ ධර්මයේත් සහජීවන සංකල්පය උතුම් කොට සලකා ඇති බව පෙනෙයි. ඒ සඳහා වඩාත් වැදගත් වන්නේ මිත්‍රශීලී චින්තනයන් සහ විශ්වාසය පෙරදැරි කර ගත් හැඟීම්වලින් කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් බුදු දහම නිරන්තරයෙන් පුද්ගලයාට අවවාද, අනුශාසනා ලබාදී තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේ මිනිසුන් තුළ ඉවසීම සහ සමාජ සහජීවනය විශාල වශයෙන් අඩුවී ඇති අතර යහපත් අරමුණුවලින් යුතුව සාමයෙන් සමඟියෙන් තීරණ ගැනීම ඉතා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරනු ලැබුවේ සමඟි වන්න, වාද විවාද නොකරන්න. කිරි සහ දිය මෙන් එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්න යනුවෙනි.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් නිසාවෙන් මිනිසුන් දෙපිලකට බෙදී කටයුතු කරන අතර ඉහත සඳහන් කළ පරිදි රටක පැවැත්මට මනා ලෙස උපකාරී වන්නේ සහජීවනයයි. එබැවින් අප මුහුණ පා සිටින දුෂ්කරතාවන් හමුවේ ඉවසීමෙන් කටයුතු කළ යුතුය. විවිධ කණ්ඩායම්වලට බෙදී රණ්ඩු වෙනවා වෙනුවට එකිනෙකාට සහයෝගය දක්වමින් මෙම අමාරුම කාල පරාසය තුළදී එකිනෙකාට සහාය දැක්විය යුතුය. අනවශ්‍ය ගැටීම්, භේද භින්නවීම්වලින් තොරව සමාජය සාමකාමීව පවත්වාගෙන යෑම අපගේ ප්‍රධාන වගකීම වන අතර සෑම ආගමකම මූලික වගකීම වන්නේද එයයි. එම නිසාම පාලක පන්තිය මෙන්ම මිනිසුන්ද සහජීවනය හොඳින් අවබෝධ කොට ගෙන කටයුතු කළ යුතු වේ. සචිනි බස්නායක ජඹුරෙගොඩ ශ්‍රී  නාගාරාම පුරාණ විහාරාධිකාරි, ජේ‍යෂ්ඨ මහාචාර්ය, දර්ශනශූරී පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි