වෘත්තියෙන් ගොඩයන්න Professional විදිහට Facebook පාවිච්චි කරන්නේ මෙහෙමයි

0
224

ඉස්සර තමයි අපි සෝෂල්මීඩියා පාවිච්චි කරද්දි නළු නිළියන්ගේ ෆොටෝ, හදපු කෑම, ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙච්ච වෙලාවල ගහපු ෆොටෝ එහෙම දාන්නේ. මේ වෙනකොට සෝෂල් මීඩියා කියන්නේ බොහොම බලගතු ප්‍රොමෝෂන් ටූල් එකක් බව නම් නොකියාම බැහැ. වෙනත් කාලවල්වල වගේ නෙවෙයි, මේ වෙනකොට බොහෝ සමාගම් තමන්ගේ සමාගම විසින් මීළඟට එකතු කරගත යුතු සේවකයන් ගැන සොයන්නේ එක්කෝ Facebook එහෙමත් නැතිනම් LinkedIn වගේ වෙබ් අඩවි හරහා. මේ වන විට ලංකාවේ බොහොමයක් සමාගම්වලින් සේවය සඳහා බඳවාගන්න සෙවීම් කරන්නේ තමන්ගේ සමාජ ජාල පිටුවල දැන්වීමක් දැමීම මඟින් තමයි. එය ඔවුන්ට මූල්‍යමය අතින් වාසියක් සහ ඉක්මන් බවත් තිබෙන නිසා ඒ වෙත යොමුවෙන බවක් දකින්නට ලැබෙනවා.

මේ නිසා ඔබට රැකියාවක් ලබාගන්න වුවමනාවක් තියෙනවා නම් කෝකටත් කියලා තම තමන්ගේ සෝෂල් මීඩියා පිටු සුද්ද පවිත්‍ර කරගෙන ඉන්න එක නුවණට හුරුයි. එහෙනම් තමන්ගේ පිටු කොහොමද පවත්වාගෙන යන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් දැනගෙන ඉමු නේද?

1. පරිපූර්ණ ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යන්න

ඔයා සෝෂල් මීඩියා පිටුවක් විදිහට LinkedIn එහෙම භාවිත කරනවා නම් හැම වෙලාවේම තොරතුරුවලින් සපිරි ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යන්න මතක තියාගන්න. එහි ඔයාගේ රැකියා ඉතිහාසය, අධ්‍යාපනය, රැකියාවට සම්බන්ධ අමතර සුදුසුකමක් තියෙනවා නම් ඒවා දමන්නට අමතක කරන්න එපා. නිතරම සේවායෝජකයෙක් ඔයාගේ පිටුව දිහා බලන විදිහට බලන්න. එතකොට අඩුපාඩු පෙනෙන්න පටන් ගනීවි. කිසිම කෙනෙක් කැමැති නැහැ බාගෙට ලියපු අයැදුම් පත්‍රයක් හරි ලොකු හිස් අවකාශයක් ඔයාගේ පිටුවෙන් දකින්න. තොරතුරු පුරවන්න කියන්නේ අන්න ඒකයි.

2. වෘත්තීයමය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න

මතකද අපි හැඳින්වීමේදී කිව්වා ඔය සෙට් වෙච්ච වෙලාවට ගත්ත ෆොටෝ එහෙම තියාගන්න එපා කියලා. අන්න ඒ කාරණාව තමා මෙතෙන්ට අදාළ වෙන්නේ. මොකද කිසිම දෙයක් ඔයා අන්තර්ජාලයට මුදා හැරියට පස්සේ ඒවා පෞද්ගලික දත්ත බවට පත් වෙන්නේ නැහැ. ඔයා ගැන හොඳටම පැහැදුණු සේවා යෝජකයෙක් පින්තූර හරහා යනකොට ඔයා සෙට් වෙලා බඹර පදමින් ඉන්නවා දැක්කොත් ඔයාට වගකීමක් භාරදෙන්න දෙපාරක් හිතන එක අහන්නත් දෙයක්ද? ඒ නිසා පරිස්සමට හොඳේ!

අඩු ගානේ ඒ පින්තූර ඉවත් කරන්න බැරි නම් අවශ්‍යම අයට හැරෙන්නට අනික් අයට පෙනෙන්නේ නැති වෙන්න security settings වත් හදාගන්න.

3. ජොබ් එක ගැන කතා කරන ගෘෘප්වලට සෙට් වෙන්න

සමාජ ජාලවල ඔයා කරන රස්සාවට අදාළ අදහස විස්තර හුවමාරු වෙන ඕනේ තරම් ගෘෘප්ස් තියෙනවා. ඒ වගේම ඒ ගෘෘප්වල තියෙන පෝස්ට්වලට තමන්ගේ අදහස් එකතු කරමින් සක්‍රියව සිටිනකොට ඔයාට ඔයාගේ ක්ෂේත්‍රයේම සේවය කරන මිතුරන් හිතවතුන්ගේ සම්බන්ධතා නොදැනීම ඇතිවෙන්නටත් ඉඩ තියෙනවා. කවුද දන්නේ මේ සම්බන්ධතාවලින්ම ඔයාගේ අනාගතේ තීරණේ වෙයිද කියලා!

4. නිතර අප්ඩේට් කරන්න

මේක තරමක් අදාළ වෙන්නේ LinkedIn, Facebook වගේ සයිට්වලට තමා. හොඳට මතක තියාගන්න ඔයා යම් දියුණුවක්, ජයග්‍රහණයක්, රැකියා උසස් වීමක් ලැබුවොත් ඒ ගැන මේ පිටුවල සටහන් කිරීම වටිනවා. මොකද ඔයා වෘත්තීයමය සම්බන්ධතා මේ සමාජ ජාල පිටුවලට එකතු කරගෙන සිටිනවා නම් ඒ අය මේ තොරතුරු දකින නිසා. එතකොට ඔයා, ඔයා කරන රක්‍ෂාවේ දියුණුවකට පත්ව හිඳින කෙනෙක් කියන එක අනික් අය දන්නවා. එහෙම නැතුව ඔයා බැංකුවක මැනේජර් කෙනෙක් වෙලා ඉන්නකොට සෝෂල් ප්‍රොෆයිල්වල බෑන්ක් ඇසිස්ටන්ට් කෙනෙක් කියලා දාගෙන ඉඳලා වැඩක් නැහැනේ.

5. Friendsලට වඩා connections හදාගන්න

ඉස්කෝලේ හිටපු, හොස්ටල් යාළුවො, ටියුෂන් ක්ලාස් එකේ යාළුවො එහෙම තමා සාමාන්‍යයෙන් අපි සෝෂල් මීඩියා පිටුවක් හැදුවම අපිට රික්වෙස්ට් එවන්නේ. ඒ හැටි. ඒත් ඔයා වෘත්තීයමය සම්බන්ධතා තියාගන්නා සෝෂල් මීඩියා පිටුවල ඔයාගේ රැකියාව කරන තැන නිලධාරීන්, සේවා ස්ථානයේ මිතුරන් වගේ අය විතරක් එකතු කරගන්න එක නුවණට හුරුයි. මොකද ඔයා ගැන අදහසක් ගන්න උත්සාහ කරන සේවා යෝජකයෙක් ඔයාගේ පිටුවේ සැරිසරනකොට “පුත්තලම් බූරුවා” වගේ නමක් තියෙන කෙනෙක් හිටියොත් ඉවරයි නේද?

6. Contact details පේන්න තියන්න

යම් සේවා යෝජකයෙක් ඔයාව තෝරාගෙන ඔයාව සම්බන්ධ කරගන්න හිතලා ඔයාගේ දුරකථන අංකයක් හරි ඊමේල් ලිපිනයක් වගේ දෙයක් ඉල්ලපු වෙලාවක, ඔයා එහෙම එකක් දාලා නැත්තම් සොරි ඩොට් කොම් නේද පින්වත?

ආන්න ඒ නිසා ඔයා බොහොම ඉක්මනින්ම සම්බන්ධ කරගන්න පුළුවන්, නිතරම ලොග් වෙලා ඉන්න, ඉක්මනින් අප්ඩේට් වෙන ඊමේල් එකවුන්ට් එකක් සහ ෆෝන් නොම්මරයක් දීලා තියෙන එක හරිම වටිනවා.

7. දැක්ක ගමන් ඇහැ යන ෆොටෝ එකක් profile picture එකට

නිකම් මල්සරාගේ මල්ලිගේ පුතා වගේ ඉන්න පින්තූර නෙවෙයි. පොඩ්ඩක් තැනකට ගිහින් පෙන්නන්න පුළුවන් වැදගත් විදිහට ඇඳලා ඉන්න පින්තූරයක් ප්‍රොෆයිල් ෆොටෝ එක විදිහට භාවිත කරන එකත් බොහොම හොඳ වැඩක්. මොකද, අර සුදුසුකම්වලින් පිරෙන්නේ 95% නම් ඉතිරි 5% මෙතනින් ගොඩදාගන්න බොහෝ දුරට හැකියාව ලැබේවි, ඔයා හොඳ පින්තුරයක් දාලා තිබ්බොත්.

8. අනවශ්‍ය Tag අයින් කරගන්න

සමහර අය ඉන්නවා කාලා ඉවර වුණු වම්බටු පොතුත් ෆොටෝ ගහලා යාළුවො ටැග් කරලා ෆේස්බුක් දාන අය. අනේ ඒ නිසා කරුණා කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකේ ටැගින් සහ පින්තූර සම්බන්ධයෙන් තියෙන ප්‍රයිවසි සෙටින්ග්ස් ටික තමන්ට සුදුසුයි කියලා හිතෙන විදිහට කස්ටමයිස් කරලා තියාගන්න කල් ඇතිවම. එතකොට අවශ්‍ය පින්තූර සහ පෝස්ට් විතරක් තමන්ගේ වෝල් එකේ රඳවා ගතහැකි. නැත්නම් කෑම විතරක් නෙවෙයි බීල වැඩිවුණ වෙලාවට, පිස්සු වැඩ කරද්දි ගත්ත පින්තූර තමන්ටත් හොරෙන් ටැග් වෙලා වෝල් එකට ආවොත් මල විනාසයයි නේද?

9. දෙවරක් හිතලා දාන්න ඕනේ කොමෙන්ට්ස් සහ ස්ටේටස්

මොන තරම් ඔයා ආගමට දහමට තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනයට එකඟ වුණත් කමක් නැහැ. තමන්ගේ වෘත්තීයමය ප්‍රජාව ඉන්න ප්‍රොෆයිල් එකේ එවැනි කොමෙන්ට්ස්, ස්ටේටස් අප්ඩේට් කරන්න එපා. ඒක එච්චර හොඳ ක්‍රියාවක් නෙවෙයි. අනික් අතට ඔයාට ජොබ් එකක් දෙන්න ඔයා ගැන හොයන සේවා යෝජකයා ඔයා විශ්වාස කරන මොනවා හෝ මතිමතාන්තරයක් තදින්ම විවේචනය කරන කෙනෙක් නම් එතැනින් එහාට වෙන්න පුළුවන් දේ ආපහු කියන්න වුවමනා නැහැ නේද?

10. ගේම් ලකුණු රෑ ඒවා ගැන හිතන්නවත් එපා !

ගේම් එකක් ගහලා ආතල් එකක් අරගෙන ඒ ගත්තු ආතල් එක අනික් අයත් එක්ක බෙදා ගන්න එක අපේ ඉතින් ලාංකික ගතියනේ. ඒ වුණාට මේ ප්‍රොෆයිල් එකට ඒ වැඩේ කරන්න එපා. ඔයා ගැන හොයන සේවා යෝජකයෙක්ට ඔබ අනවශ්‍ය විදිහට කාලේ නාස්ති කරන කෙනෙක් හැටියට පෙනෙයි. දැනටමත් රැකියාවක නිරත වෙන කෙනෙක් වුණත් මේ දේවල්වලින් පරිස්සම් වුණොත් හොඳයි. ඔයා දිනපු ගේම් එකේ ලකුණු ඔයාගේ වෝල් එකේ පබ්ලික් වැටෙන වෙලාවට ඔයා ඔෆිස් එකේ නම් ඉන්නේ, ඔයාගේ බොසුත් ඔන්ලයින් ඒ වෙලාවේ ඉන්නවා කියන්නේ, සොරි ඩොට්කොම් නේද?

අනික එහෙම දානකොට ඔයා කොතරම් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වුණත් බොස් හිතන්න ඉඩ තියෙනවා ඔයා රාජකාරි වෙලාවෙත් හොරෙන් ගේම ගහමින් ඉන්න කෙනෙක් විදිහට.

ශෙනායා හේවාගම