රෝගී දරුවන් විඳින දුක දැක වට්ස්ඇප්වලින් පිහිට වෙන දොස්තර දෙවියා

0
54

අප ජීවත් වන්නේ නොමිනිසුන් රජයන සමාජයකය. ඔවුන් තම දුෂ්ට සිතැඟි අනුව ජීවත් වෙමින් විනයගරුක අතළොස්සක් පමණ වූ මිනිසුන්ටද කරන්නේ දැඩි අමානුෂික ප්‍රහාරයන්ය.

මේ දුෂ්ට විෂම මිනිසුන් කවුරුන්දැයි දන්නා සියල්ලෝ දනිති. එහෙත් සමාජයට ආදර්ශයක් වෙමින් තම ශ්‍රමය හා ධනය මෙන්ම දැනුම ලබාදෙන පෙරකී සැබෑ මිනිසුන් පිළිබඳව අප දැනුවත් වන්නේ අහඹු ලෙසය. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රාජකාරි කරන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ මිහිරි මනම්පේරි හිතහොඳ ‍ෙදාස්තර මහතාද එවැනි චරිතයකි. ඔහුගේ මේ මනුෂ්‍යත්වය පිරි දිවිය වඩාත් හොඳින් කැපීපෙනෙන්නේ අන්ත අසරණ ආර්ථික තත්ත්වයෙන් පෙළෙන රෝගී දරුවන්ගේ මවුපියන් ඉදිරියේය.

“ජයවර්ධනපුර රෝහලේ සාමාන්‍ය විදිහට නොමිලේ බෙහෙත් දෙන අංශයක් වගේම මුදල් ගෙවලා ප්‍රතිකාර ලබා ගන්නා අංශයකුත් තිබෙනවා. ඒ අනුව රෝගීන්ගේ ආර්ථික තත්ත්වය අනුව ඔවුන්ට පහසු පැත්ත තෝරා ගන්න පුළුවන්.

මම භාරව ඉන්නේ නොමිලේ ප්‍රතිකාර ලබාදෙන ළමා වාට්ටුව. ඒ කියන්නේ එකේ වාට්ටුව.

මේ වාට්ටුවට නොයෙකුත් සංකූලතා ඇති දරුවෝ ඇතුළත් කර ගන්නවා. ඒ වගේම එහෙම එන දරුවන්ගේ අම්මලා තාත්තලා එක්ක කතා කළාම ඔවුන් කොයි තරම් දුර බැහැර අෑත ප්‍රදේශවල ඉඳලා ප්‍රතිකාර ගන්න මේ රෝහලට එනවාද කියන කාරණය අපිට හොඳින් තේරුම් ගියා.”

සාමාන්‍යයෙන් බොහෝ මවුපියන් තම දරුවන්ගේ රෝගී තත්ත්වයන් ඉදිරියේ මුලින්ම ගොඩවදින්නේ ළඟම තියෙන රෝහලටය. ඉන් සහනයක් නොලැබේ නම් ඔවුන් අනතුරුව සොයා යන්නේ පළාතේ ඇති හොඳම රෝහලටය. එසේත් නැත්නම් රටේ ඇති සුදුසුම සුප්‍රසිද්ධ රෝහලටය.

“මේ විදිහට මේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් ඔසවාගෙන මේ වගේ රෝහල්වලට එන්නේ දරුවන්ගේ ප්‍රශ්න විසඳගෙන සැනසුම් සුසුම් හෙළන්න.

ඒත් පසුගිය ජුනි මාසේ පටන්ගන්නකොටම අපේ රටේ ඇතිවුණු ඔෟෂධ හා ඉන්ධන ප්‍රශ්නයත් එක්ක රෝගී දරුවන්ගේ අම්මලා, තාත්තලා ලොකුම ලොකු ප්‍රශ්නෙකට මුහුණ දුන්නා.

ඒ තමයි මේ වෙනුවෙන් වියදම් කරන්න අතේ මුදල් නැතිකම. දරුවෙක්ව රෝහල කරා රැගෙන එන්නත් අතිවිශාල මුදලක් ගමන් වියදම් සඳහා ඕනෑ වුණා.

මේ තත්ත්වය අපි හොඳින් දැක්කා. ඒ අනුව අපේ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රමුඛ අපි මේ ගැන දිගින් දිගටම කතා කළා.”

ලෝකයේ බොහෝ දියුණු රටවල අසාධ්‍ය තත්ත්වයේ නැති රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ ‘ටෙලිමෙඩිසින්’ (Telemedicine) ක්‍රමයටයි. ඒ අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මිහිරි මනම්පේරි මහතාද මේ සඳහා යොමු වන්නට සිතුවේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේද අනුදැනුම ඇතිවය.

“මේක අපි වගේ රටකට එතරම් පුරුදු වැඩක් නෙවෙයි. නමුත් අපි අපේ වාට්ටුවේ අම්මලා තාත්තලා එක්ක කතා කළා. කතා කරලා ඉක්මනින් ගෙවල්වලට යවන්න පුළුවන් අයව ගෙදර යැව්වා.

එහෙම  යවලා කිව්වා ගෙදර ගිහින් වට්ස්ඇප් (WhatsApp) තාක්‍ෂණය ඔස්සේ අපි එක්ක සම්බන්ධ වෙන්න කියලා. වරින් වර රෝහල කරා සායනවලට එන්න එපා කියලා.

මොකද මේ හැම රෝගී දරුවෙක්ම ජීවත් වෙන්නේ අෑත දුර බැහැර ප්‍රදේශවල. මේ ළඟපාතක නෙවෙයි. ඉතින් අපි මේ අයව සායනවලට කැඳවන්න ගියොත් ඔවුන් අතිවිශාල ප්‍රශ්න ගොටකඩ මුහුණ දෙනවා. එකක් අතේ මුදල් නැතිකම. දෙවැන්න තිබුණත් ත්‍රීවීලර්වලට සහ බස්වලට අධික මුදලක් වැය වීම. ඊළඟට තෙල් නැතිකම නිසා එන්න වාහනයක් පවා සොයා ගන්න බැරිකම.

අනික මේ හැම දෙයක්ම දරාගෙන ආවත් ඒ අයට මහා ලොකු කාලයක් මහ පාරට වැය කරන්න සිද්ධ වෙනවා. තේ කෝප්පයක් බිව්වත් මහා ලොකු වියදමක් යනවනේ.” මේ ආකාරයට මානුෂික  වූ මේ හිතහොඳ ‍ෙදාස්තරවරයා ඊළඟට කළේ රෝගී දරුවන්ගේ වෛද්‍ය සායන පවත්වන විදිහ ගැනය.

එතැනදි තමයි අපේ රෝහල් අධ්‍යක්‍ෂතුමා සහ මම කතාබහ කරලා වට්ස්ඇප් (WhatsApp) තාක්‍ෂණය මේ සඳහා පාවිච්චි කරන්න සැලසුම් කළේ.

ඒ අනුව අපි ගැටලුවකින් තොරව ගෙදර යවන්න පුළුවන් රෝගී දරුවන්ව හඳුනා ගත්තා. එහෙම හඳුනාගෙන ඔවුන්ගේ විස්තර පොතක ලියාගෙන වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ ඔවුන්ව පරීක්‍ෂා කර බලන විදිහ ගැනත් දැනුවත් කළා. ඔවුන්ට අපි දිනයක් සහ වේලාවක් ලබා දුන්නා.

මේ ආකාරයට දැනුවත් වී නිවෙස බලා ගිය රෝගී දරුවන්ගේ මවුපියෝ තමන්ට ලැබුණු දිනයේදී නියමිත වේලාවට වෛද්‍ය සායනය සඳහා සහභාගි වූහ. එසේ සහභාගි වීමට පෙර ඔවුන් තම දරුවාගේ රෝගී වාර්තාවේ ඡායාරූපයක්ද එවීමට වගබලා ගත්හ.

“අද බොහෝ අම්මලා තාත්තලා ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ පහසුකම නැතිනම් ඥාති කෙනකුගේ උදවු අරගෙන අපි එක්ක එකතු වුණත් කමක් නැහැ.

ඇත්තම කියනවා නම් දැන් ඒ ක්‍රමය හුඟක් සාර්ථකයි. බොහෝ දරුවෝ දැන් සුවයි. මේ නිසාම තවදුරටත් මේ ටෙලි මෙඩිසින් ක්‍රමය අනුගමනය කරමින් අපි දරුවන්ට ප්‍රතිකාර ලබාදෙනවා.”

විශේෂඥ වෛද්‍ය මිහිරි මනම්පේරි අපේ ‍ෙදාස්තර මහතා දරුවන් වෙනුවෙන් මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දුන්නේ ඒ දරු පවුල්වලට බලපාන දරාගත නොහැකි අධික විය හියදම් ගැන සිතා බව අපි ඔබට මුල සිට මතක් කළෙමු. එසේ නම් ඔවුන්ට අවශ්‍ය ඔෟෂධ ලබාදීම සම්බන්ධවද ඔහු තම අවධානය යොමු කළ අන්දම පිළිබඳව අප සොයා බැලිය යුතුව ඇත.

“මේ කාලය තුළ ලංකාවේ සෑම රෝහලකම තද ඔෟෂධ හිඟය ඇති වී තිබුණා. විශේෂයෙන්ම දරුවන්ට ලබාදිය යුතු වැදගත්ම සිරප් වර්ගවල පවා දැඩි හිඟයක් තිබුණා. එහෙම වටපිටාවක් තුළයි අපි අපිට පුළුවන් විධියට ඒකට මුහුණ දෙන්න සූදානම් වුණේ”

රෝහල් අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ වෛද්‍යවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මිහිරි මනම්පේරි මහතා ඒ අනුව ක්‍රියාත්මක වූවේ තමන්ට හිතැති දන්නා කියන අයගේ උදවු උපකාර ලබා ගැනීමටය. ඒ අනුව ඔවුන් ලෝකය පුරා ඉන්නා හිතවතුන්ට මේ දුෂ්කර වතාවරණය පිළිබඳ දැනුම් දීමට කටයුතු කළේය.

“ඒ අනුව අපිට බොහෝ දෙනා උදවු උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඇත්තටම පිටරට ඉඳලා එනකොට අපිට දරුවන්ට ලබාදිය යුතු වටිනා ඔෟෂධ රැසක් ලැබුණා. අපි මේ ඔෟෂධ බොහොම සුරක්ෂිතව ගබඩා කරන්නත් කටයුතු කළා. ඒ ඔෟෂධ තව මාස දෙක තුනකට සෑහෙන්න අපි සතුව තිබෙනවා.”

මේ ආකාරයට ලැබුණු ඔෟෂධ සියල්ල සුරක්ෂිතව තබාගත් ජයවර්ධනපුර රෝහල් වාට්ටුව භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා තම කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ තම ජීවිතය මෙන් එම ඔෟෂධද රැකගන්නා ලෙසය. අවශ්‍යම අවස්ථාවේදී පමණක් හික්මීමක් ඇතිව ප්‍රයෝජනයට ගන්නා ලෙසය.

“අපි මේ බෙහෙත් තමයි රෝහලින් බැහැර වෙද්දී දරුවන්ට ලබා දෙන්නේ. දිනකට දෙකකට සෑහෙන්න මේ බෙහෙත් ලබා දීලා පිටත් කළාට පස්සේ තමයි අපි අර විධියට ටෙලිමෙඩියින් සිස්ටම් එකට රෝගී දරුවාව පරීක්ෂා කරන්නේ.”

බැරි වෙලාවත් තවත් ඔෟෂධයක් ගන්න තිබුණොත් ඒක ෆාමසියකින් ගන්න පුළුවන් විධියට විස්තර WhatsApp හරහා යවනවා.”

මේ මානුෂික වෛද්‍යවරුන්ට පින් සිදුවන්නට දැන් බොහෝ මවුපියන් තම දරුවන්ව සුවපත් කරගෙන ඇත්තේ සැලකිය යුතු මුදලකුත්, වටිනා කාලයත් ඉතිරි කර ගනිමින්ය. ඒ වෙනුවෙන් ඔවුහු තුති පුද දෙති.

“මේ සේවාව තව දුරටත් ව්‍යාප්ත කරන්නත් නව තාක්ෂණය උපයෝගී කරගෙන තවත් හොඳින් කරන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මේ වාට්ටුවට ඇතුළත් කරන සෑම දරුවකුගේම වෛද්‍ය වාර්තා පරිගණක ගතකොට තබනවා. එහෙම වුණාම අපිට WhatsApp මාර්ගයෙන් රෝගියාගේ විස්තර ගෙන්වා ගන්න ඕනෑ වෙන්නේ නැහැ. අපි ළඟ විස්තර තිබෙන හන්දා ඒවා බලලා යාවත්කාලීන වෙලා ප්‍රතිකාර කරන්න පුළුවන් වෙනවා.

හැබැයි මෙහිදී එක දෙයක් අපි මතක් කරන්න ඕනෑ. මේ වගේ පරීක්ෂා කරලා අපිට වෛද්‍ය උපදෙස් සහ ඔෟෂධ නියම කරන්න හැම රෝගයකටම බැහැ. ඒ නිසා අපි එන්න කියලා සායනවලට ගෙන්වන්නේ එසේ කරන්නට බැරි රෝගීන්ව පමණයි.”

ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ වාට්ටුවේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා එසේත් නැතිනම් මිහිරි මනම්පේරි ‍ෙදාස්තර මහතා මේ සේවාවන් කරන්නේ අද ඊයේ සිට නොවේ. ඔහු මීට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේ ඇති රෝහලේදීද මේ ආකාරයෙන්ම අමුතුම විධියේ සේවාවකට දායක වූවේය.

“මම යද්දී තිස්සමහාරාම රෝහලේ ළමා වාට්ටුවට සුදුසු කොව්ඩි වාට්ටුවක් තිබුණේ නැහැ. මම ඒක ස්ථාපිත කළා. ඒකටත් මට බොහෝ අයගෙන් උදවු උපකාර ලැබුණා.

අපි මේ රස්සාව කරනව නම් ඒක හැඟීමෙන් යුතුව කරන්න ඕනෑ. මොකද මේක සේවාවකටත් වඩා වගකීමක්නේ. අපේ රස්සාව හරිම දුෂ්කරයි. ඒත් රෝගී ජීවිත රැඳී තිබෙන්නේ අප මතයි.

තිස්සමහාරාම රෝහලට කොයි තරම් රෝගී ජනතාවක් ඇදී එනවද කියන එක මම දැක්කා.

මවුපියෝ දරුවන් වෙනුවෙන් කොයිතරම් මහන්සි වෙනවද  කොයිතරම් වියදමක් කරනවද කියන එකත් මම අවබෝධ කරගත්තා. ඔවුන් සල්ලි සොයා ගන්නෙත් කොයිතරම් අමාරුවෙන්ද කියලත් මම දැනගෙන හිිටිය.”

විශේෂඥ වෛද්‍ය මිහිරි මනම්පේරි මහතා තම වෛද්‍ය ජීවිතය ඇරඹුවේද සංකීර්ණ රෝහල්වල සේවය කරමිනි. ඔහු මුලින්ම සේවය කළේ ගම්පහ රෝහලේය. එයින් පසුව ගියේ කන්තලේ රෝහලටය.

“ඒ කාලේ යුද්ධෙ දරුණුම කාල පරිච්ඡේදය. නමුත් අපි දැඩි දුෂ්කරතා රැසක් මැද රාජකාරි කළා. අප්‍රමාණ දුක් වින්දා. මේවා නිසාම තමයි අපිට දුගී දුප්පත් මිනිස්සු ගැන හැඟීමක් ආවේ. ඒ හැඟීීම ඇති වුණාම ඕනෑම කැපකිරීමක් කරලා අපි අපේ සේවය ඉටු කරනවා. කොහොම වුණත් අද වෙද්දී ශ්‍රී  ජයවර්ධනපුර මහ රෝහලේදීත් අපි ඒ විධියටම ඒ සේවය ලබා දෙනවා. ඒකට හැමෝගෙන්ම ලැබෙන සහයෝගයට අපි ප්‍රණාමය පුද කළ යුතුයි.” විශේෂඥ වෛද්‍ය මිහිරි මනම්පේරි මහතා අවසන් වශයෙන් කීවේය.

අපේ රටේ ජීවත්වන ලක්ෂ දෙසිය විස්සක් පමණ වූ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් අද ජීවත්වන්නේ නැති බැරිකම් වඩාත් හොඳින් දැනෙන පරිසරයක් තුළය. ඒ පරිසරයේ ඇති ආකාරුණිකභාවය ඇතැම් දේශපාලකයන්ට නම් දැනෙන්නේ නැත. දැනෙන්නේ මානුෂික හදවත් ඇති උත්තමයන්ට පමණි. එවැනි දුර්ලභ ගණයේ මිනිසුන් වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළද ඇති බව මීට පෙරත් අප ඔබට කියා ඇත. මිහිරි මනම්පේරි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා අයත්වන්නේද ඒ මානුෂික හදවත් ඇත්තන් අතරටය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

ඡායාරූප-මංජුල දයාවංශ