රු: 75.000/= කට වැලිකඩ ජේලර්ව මරලා කට්ටි පැන්න ‘නාකියා’ අවුරුදු 3කට පසු මාට්ටු වුණු හැටි

0
73

ඒ ඉකුත් 2019 වසරේ අගෝස්තු මස 3 වැනිදාය. හරියටම මීට වසර තුනකට පෙරය. වේලාව සවස 6ට ආසන්නය. පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු රේඩියෝ පණිවුඩයකි.

“කුලීගොඩ හන්දිය ගාව කාටද වෙඩි තියලා” ලැබුණු තොරතුර අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා වෙත දැනුම්දෙනු ලැබීය. ඔහුගේ උපදෙස් මත කණ්ඩායමක් කුලීගොඩ බලා පිටත්වූහ.

නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයට යන විටත් වෙඩි වැදුණු තුවාලකරු බළපිටිය රෝහල වෙත ගෙනගොස් තිබිණි. තුවාලකරු පැමිණි යතුරුපැදිය පාරේ කෙළවරක පෙරළී ඇත. පසුව පොලිසිය කළ සෝදිසියේදී දැනගන්නට ලැබුණේ වෙඩි වැදුණු තැනැත්තා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවය. කෙසේ වෙතත් වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් මැරුම් කෑ තැනැත්තා හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ වැලිකඩ බන්ධනාගාර ජේලර් තිළිණ රුවන් තිහාර ජයරත්න බව තහවුරු කරගත හැකි විය.

ඒ වන විට අම්බලන්ගොඩ ප්‍රදේශය භාරව සිටියේ සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතන්ත්‍රි මහතාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ ඔහුගේ උපදෙස් මතය.

නාඳුනන තුවක්කුකරුවන් බන්ධනාගාර ජේලර්වරයකු මරා දැමීම පොලිසියට මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය. ජේලර්වරයකු මරන්නට තරම් තුවක්කුකරුවන්ට හයියක් ලැබුණේ කෙසේද යන්න පොලිසියට ගැටලුවක්ද ඇති විය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් පහක් විමර්ශනවලට එක්වූහ. ඉන් එක් කණ්ඩායමක් ඝාතනයට අදාළ සී.සී.ටී.වී. කැමරා පරික්‍ෂාවේ යෙදුණු අතර තවත් කණ්ඩායමක් ඝාතනයට හේතුවූ කරුණු කාරණා සොයන්නට වූහ. ඒ අනුව එම කණ්ඩායම හෙළිකර ගත්තේ මරා දැමුණු ජේලර්වරයා සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ නොයෙකුත් ප්‍රශ්න තිබූ බවය. ඒ අනුව ජේලර් ජයරත්න ඝාතනය දකුණේ පාතාලයෙන් දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවටද පොලිසියේ සැකය විය.

ජේලර් ජයරත්න අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි අයකු විය. ඔහු ඒ වන විට 44 වියේ පසුවිය. ඔහු තිදරු පියෙකි.

ජේලර් ජයරත්න මරා දමන්නේ ඔහුගේ දියණිය ඊට පසු දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියදීය. ඒ නිසා එදා ජයරත්න කල්තියාම ගෙදර යන්නට සූදානම් විය. ඒ දියණියට බාරයක් වීම සඳහා පන්සලට යෑමටය.

ජේලර් ජයරත්න රාජකාරි කළේ වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙසය. මේ නිසා ඔහු කුලීගොඩ නිවෙසේ සිට උදේ හවා වැඩට ආ ගියේ දුම්රියෙන්ය. නිවෙසේ සිට සිය යතුරුපැදියෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට යන ඔහු යතුරුපැදිය එහි ගාල්කර කොළඹ කොටුව බලා යන දුම්රියකට ගොඩවීම පුරුද්දක් කරගෙන සිටියේය.

කොළඹ කොටුවෙන් දුම්රියෙන් බැස ගන්නා ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත ගමන් කරන්නේ බස් රියකිනි. සේවය අහවර වී නැවත කොළඹ කොටුවෙන් දුම්රියට ගොඩවන ඔහු නැවත අම්බලන්ගොඩට එන්නේද දුම්රියෙනි. පසුව දුම්රිය ස්ථානයේ ගාල් කරන ලද යතුරුපැදියේ නැඟී ඔහු  සිය නිවෙසට පැමිණේ. ඒ ඔහුගේ සුපුරුදු දිනචර්යාව විය.

2019 අගෝස්තු මස 3 වැනිදා ජයරත්න ගොඩවූයේ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රියටය. ඒ කලින් ගෙදර යෑමේ අවශ්‍යතාව නිසාය. රුහුණු කුමාරියේ නැඟුණු ඔහු අම්බලන්ගොඩ දුම්රියපළෙන් බැස සිය යතුරුපැදියේ නැඟ නිවෙස බලා ගියේ දියණිය සමඟ පන්සල් යෑම සඳහාය. කුලීගොඩ ප්‍රදේශයේදී ජයරත්න ජේලර්වරයා වෙඩි තබා මරා දමන්නේ ඔය අතරය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරද්දී ජයරත්නගේ පැටිකිරියද එළියට ආවේය.

වැලිකඩට යන්නට පෙර 2014 වසරේ සිට ජයරත්න රාජකාරි කළේ බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙසය. එහිදී පෙන්වූ දක්‍ෂතා මත ඔහු ගාල්ල බන්ධනාගාරයට මාරුකර යැවිණි. ඒ එහි නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ලෙසය.

මේ වකවානුවේදී දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී රඳවා තිබුණේ කොළඹ මැගසින් බන්ධනාගාරයේය. එහෙත් ඔහුට එරෙහිව ගාල්ල සහ බළපිටිය අධිකරණවල විභාග වන නඩු සඳහා පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරයට ගෙන ඒමට බන්ධනාගාර අධිකාරිය කටයුතු කර තිබිණි.

මේ කාලයේදී පොඩි ලැසීට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගෙන් ලැබුණේ ඉහළම සත්කාරයකි. ඒ එම නිලධාරීන්ගේ මන‍ෙදාළ සපුරාලීම ඔහු අතින් සිදුවූ හෙයිනි.

මේ නිසා ඔහුට බන්ධනාගාරයේ සිට දුරකථන පහසුකම්ද ලබාගත හැකිව තිබූ බව මාධ්‍යද වාර්තා කර තිබිණි. මේ නිසා හෙරොයින් ජාවාරම මෙන්ම සෙසු අපරාධ කිරීමටද පොඩි ලැසීට මහත් රුකුලක්ව තිබූ බව එම වාර්තාවල සඳහන් විය.

එහෙත් ජේලර් ජයරත්න මීට තදින්ම විරුද්ධ වී ඇති බවද කියැවේ. මේ නිසා බන්ධනාගාරයේ ඇතැම් උසස් නිලධාරීන් ජයරත්න සමඟ නොයෙකුත් ගැටුම්ද ඇතිකර ගෙන තිබුණු බවටද සඳහන්ය.

මේ අතර ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පෙත්සම් සහ පැමිණිලි ගලා එන්නට වූ අතර දූෂිත එම නිලධාරීහු එම පෙත්සම් යොමු කරන්නේ ජේලර් ජයරත්න ලෙසටද සැක ඇති කරගෙන තිබිණි.

මේ අතර පාතාල කෙරුමන් ගාල්ල බන්ධනාගාරය තුළදී ලැබෙන පහසුකම් අඩුවී ඇත්තේ ජේලර් ජයරත්නගේ ක්‍රියාකාරකම් නිසා බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඒ නිසා පාතාලය තුළද ජේලර්වරයා ගැන කිසියම් විරසකයක් තිබූ බවට වාර්තා විය.

කාලය මෙසේ ගෙවී යද්දී මීටියාගොඩ පොලිසිය විසින් 2018.10.19 දින පොඩි ලැසීට අයත් කුඩු තිප්පොළක් වටලන ලද අතර නිවෙසේ නතර කර තිබූ යතුරුපැදියක් වෙත නිලධාරීන්ගේ නෙත ගැටිණි. මෙම වැටලීමේදී නිවෙසේ කාමරයක හෙරොයින් පැකට් කරමින් සිටි රංජි ලොක්කා සහ සමන් ලොක්කා යන දෙදෙනා අල්ලා ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර නිවෙස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදිය කාගේදැයි විමසූ අවස්ථාවේ එක්තරා පුද්ගලයකු ඒ සඳහා ඉදිරිපත් වී තිබිණි.

“බයික් එක මගේ. මම ගාල්ල ප්‍රිසන් එකේ ජේලර් ජයරත්න” ජේලර්වරයා පසුව පිටව ගිය අතර සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විණි.

මීටියාගොඩ – බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සත්ත්ව ගොවිපළකට කුකුළු මස් මිලදී ගැනීමට පැමිණි බව කීවාට එවන් ගොවිපළක් නොවූ හෙයින් ජේලර් ජයරත්න ගැන සැකයක් ඇති කර ගත් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක තුෂාර ඔහුට නැවත පොලිසියට එන ලෙස දැනුම් දෙන්නට විය. එහිදීද ඔහු පැවැසුවේ බළපිටිය පල්ලියේ පැවැත්වෙන උත්සවයක් සඳහා සිය බිරිය කුකුළු මස් කරියක් භාරගෙන තිබූ හෙයින් ඒ සඳහා කුකුළු මස් කිලෝ 10ක් මිලදී ගැනීමට තමා රංජිත්ගේ නිවෙසට ගිය බවය.

එහෙත් විමර්ශනයේදී හෙළි වූයේ රංජි ලොක්කා නමැත්තා ඒ වන විට කුකුළු මස් ව්‍යාපාරයේ නොයෙදෙන බවය.

එහෙත් ජේලර් ජයරත්නට එරෙහිව නඩු පැවැරීමට තරම් සාක්කි නොවූ හෙයින් ඔහු මුදාහරිනු ලැබුවද මීටියාගොඩ පොලිසිය විසින් මේ සම්බන්ධ වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජේලර් ජයරත්න වැඩ තහනමට ලක්විය. එහෙත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් පසු ඔහු නි‍ෙදාස් වුවද ඔහු ගාල්ලෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවිණි. ඒ කෙසේ වෙතත් ඉන් අනතුරුව පාතාලයෙන් එල්ලවූ මරණ තර්ජනයක් ගැනද ඔහු පොලිසියට පැමිණිලි කර තිබූ බවද නිලධාරීහු අනාවරණය කරගත් අතර ජේලර්වරයා ඝාතනය වන්නේ මෙවන් පරිසරයක් තුළදීය.

සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතත්ත්‍රි මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඉන්දික ගමගේ ඇතුළු කණ්ඩායම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කරද්දී ඔවුන්ගේ උකුසු ඇස්  කුලීගොඩ ප්‍රදේශයේ ධාවනය වන ස්කූටි වර්ගයේ යතුරුපැදියක් අසල නතර විය.

ඒ දෙස දැඩි අවධානය යොමු කරද්දී එම යතුරුපැදියේ නැඟි පුද්ගලයා පසුපස බලමින් යතුරුපැදිය ධාවනය කරන අයුරුත්, ඊට පසුපසින් තවත් යතුරුපැදියක් ගමන් ගන්නා අයුරුත් එම යතුරුපැදි දෙකට ඉදිරියෙන් ජේලර්වරයා ගමන් ගන්නා යතුරුපැදිය ගමන් ගන්නා අයුරුත් පෙනෙන්නට තිබිණි.

“පස්සේ මේ ස්කූටි බයික් එක ජේලර්වරයාගේ බයික් එක පසුකරගෙන යනවත් පෙනුණා. ඉන් පස්සේ තමයි ජේලර්ට වෙඩි තියන්නේ. පස්සේ අපි ඒ මාර්ගයේ ඉස්සරහ තියෙන සී.සී.ටී.වී.ත් මාර්ගයේ පසුපස තියෙන සී.සී.ටී.වී.ත් චෙක් කරනකොට කළු පාට කාර් එකක් දර්ශනය වුණා.

“ඒ කාර් එකේ අංකය චෙක් කරද්දී ඒක එදා දවල් 12.45ට කුරුඳුගහහැතැප්ම අධිවේගී එකෙන් එක්සිට් වෙනවා පෙනුණා. ඒ වාහනේ නොම්මරේට ආර්.එම්.වී. එකෙන් කරුණු හොයනකොට ඒකේ අයිතිකාරයා සොයාගන්න පුළුවන් වුණා. ඒ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී එයා කිව්වා එයා වාහනේ කොට්ටාවේ තැනකට හයර් දුවන්න දුන්නා කියලා. ඒ ගැන හොයලා බලද්දී ඒ වාහනේ ඒ වෙනකොට වෙනත් අයකුට හයර් එකකට දීලා. ඒත් ඒ වාහනේ ජී.පී.එස්. තාක්‍ෂණය තිබුණා. අපි ඒ  ඔස්සේත් විමර්ශනය කළා.”

“පස්සේ එදා ඒ වාහනේ පැදවූ කෙනා අපි අත්අඩංගුවට ගත්තා.”

“ස්කූටිය පැදපු කෙනා  තමයි “ෂූටර්”ට ජේලර්ව පෙන්නන්නේ. ජේලර්ව පෙන්නන්න තමයි මිනිහා එයාට පස්ස හැරී හැරී ජේලර්ට පස්සෙන් යන්නේ. මිනිහා තිරණාගම කෙනෙක්. මිනිහා අම්බලන්ගොඩ ෂෙඩ් එකෙන් තෙල් ගහගහ ඉන්නකොට අපි එයාවත් අත්අඩංගුවට ගත්තා. එයාලාගෙන් ප්‍රශ්න කරද්දී මීටියාගොඩ හෝටලයක් පිටුපස්සේ පුච්චලා දාලා තියපු හෑන්ඩ්ෆෝන් දෙකකුත් සොයා ගත්තා. පස්සේ කවුද “ෂූටර්” කියලා බැලුවම එයා රත්ගම පැත්තේ කෙනෙක් කියලා හොයා ගත්තත්  මිනිහා අල්ලගන්න ලැබුණේ නැහැ.”

විමර්ශන කණ්ඩායම් මෙහෙයවූ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය. මෙලෙස විමර්ශන සිදු වෙද්දී අම්බලන්ගොඩ, මීටියාගොඩ පොලිස් ස්ථාන භාරව සිටි සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතන්ත්‍රි වෙනත් ප්‍රදේශයකට මාරුකර යැවිණි. ඒ අගෝස්තු මස 14 වැනිදාය. එතැන් පටන් විමර්ශනද ඇනහිටි බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉන් අනතුරුව ජේලර් ජයරත්න ඝාතනයේ ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් ජේලර් ජයරත්න ද  මත්ද්‍රව්‍ය සහ පාතාල ජාවාරම්කරුවන් සමඟ සබඳකම් පැවැත්වූ බවට සැක සහිත තොරතුරු මතුවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර තිබුණද එයද අතරමඟ ඇනහිටි බව කියැවේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇරැඹීමත් සමඟ එහි අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ අවධානයද ජේලර් ඝාතනය සඳහා යොමුවිය.

ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබෙන්නේ ඔය අතරය.

“සර්… මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා වැලිකඩ ජේලර් මරපු කෙනා තවමත් අම්බලන්ගොඩ පොලිසියට අල්ල ගන්න බැරිවුණා. ගමේ හැමතැනම කතාව යන්නේ මූ රට ගිහින් කියලා. ඒත් සර් මූ මෙහෙ ඉන්නවා. මූ මේකට කෙළින්ම සම්බන්ධයි. මූ තමයි ජේලර් මහත්තයට වෙඩි තියලා තියෙන්නේ…”

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එවූ ලිපියේ එසේ සඳහන් වී තිබිණ. ජේලර් ජයරත්නට වෙඩි තැබූ පුද්ගලයාගේ නම් ගම්ද එහි සඳහන් වූ අතර ඔහු බොහෝ අය “නාකියා” ලෙසින් හඳුන්වන බවද එම ලිපියේ සටහන් කර තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ඒ වන විට මෙවන් සැඟවුණු අපරාධ රැසක් අනාවරණය කරගෙන තිබූ අතර මෙම ලිපිය දුටු ඔහු වහා සිය නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුනට උපදෙස් දීමට පියවර ගත්තේය.

“ඔයගොල්ලෝ මේ ඇඩ්්‍රස් එකට ගිහින් හොයලා බලන්න මේ මිනිහා ඉන්නවද කියලා.”

“ඔයා ආගමන විගමන එකට කතා කරලා මේ නම් ගම් තියෙන මනුස්සයෙක් ලංකාවෙන් ගියාද එයා ආයෙත් ලංකාවට ආවාද කියලා බලන්න”

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සිවිල් වෙස්ගත් එක් කණ්ඩායමක් රත්ගම පිහිටි සැකකරුගේ නිවෙසට ගියද ඔහු එහි නොවීය. නිවෙසේ සිටියේ ඔහුගේ බිරියයි.

“අනේ… සර්… ඇත්තටම අපි දන්නේ නැහැ. දැන් කාලයක් තිස්සේ ගෙදර ආවේ නැහැ. අඩුම තරමින් එයා කොළඹටවත් යන්න දන්නේ නැහැ” සැකකරුගේ බිරිය නිලධාරීන්ට කීවාය.

“එහෙනම් මිනිහා රට ගිහින්ද…”

“පිස්සුද සර්… සර්ට මම කිව්වේ එයා කොළඹටවත් යන්න දන්නේ නැහැ. එයා කොහේ රට යන්නද…”

කෙසේ වෙතත් සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඇගෙන් දැනගත නොහැකි විය. පසුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඊළඟ පියවර වූයේ ප්‍රධාන සැකකරු විදේශගත වූයේද යන්න දැන ගැනීමය. ඒ ගැන සොයා බැලීමේදී නිලධාරීන් අනාවරණය කරගත්තේ සැකකරු රට සිට මෙරටට පැමිණ ඇති බවය. ඒ රට යෑමෙන් සති හතකට පමණ පසුවය.

ඒ බව කිසිවකුටත් නොදැන්වූ රහස් පොලිස් නිලධාරීහු සැකකාර “නාකියා” ගැන තවදුරටත් කරුණු කාරණා සොයන්නට වූහ. ඒ අනුව ප්‍රධාන සැකකරු දැඩි නිහඬ චරිතයක් බවත් ගමේ ඔහු ජීවත් වන්නේ අහිංසකයකු ලෙස බවත් ඔහු ගමන් කරන්නේ පාපැදියකින් බවත් හෙළිකර ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ නිසා සැලසුම්කරුවන් ඝාතනය සඳහා මොහු යොදාගෙන ඇති බවත් නිරීක්‍ෂණය විය.

මෙලෙස සැකකරු පසුපසම ඉව අල්ලද්දී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තවත් තොරතුරක් ලැබිණි. ඒ සැකකරු බිරියගේ අක්කාගේ නිවෙසක රැඳී සිටින බවය. ඒ අනුව විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් වහා රත්ගම ප්‍රදේශයට ගියද ඔහු එම නිවෙසේ නොවීය. ඉන් අනතුරුව නිලධාරීන් ගියේ ඔහුගේ බෑනා කෙනකුට අයත් ඉඩමකටය. එම ඉඩමේ නිවෙසක් සාදමින් පෙදරේරුවන් කිහිපදෙනකු යුහුසුලුව සේවය කරන අයුරු නිලධාරීහු දුටහ. ඒ වන විට සැකකරුගේ ඡායාරූපයක් නිලධාරීන් සතුව තිබිණි. එම ඡායාරූපයේ ඇත්තේ දිගු රැවුලක් සහිත සැකකරුවෙකි. එහෙත් එතැන එවන් අයකු පෙනෙන්නට නොවීය. එහෙත් සැකකරුගේ හැඩරුව අනුව පෙදරේරුවන්ට අත්වැඩ දෙමින් සිටි අයකු වෙත නිලධාරීන්ගේ උකුසු ඇස් යොමුවිය.

“තමුසේ නාකියා නේද..”

නිලධාරීහු ඔහු වටා රොක් වූහ. ඒ, ඔහුට පැන යන්නට නොහැකි ලෙසය. අසරණ වූ සැකකරු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

“තමන් දන්නවනේ මොකටද මෙතැනට ගෙනාවේ කියලා… අපරාධයක් කරලා හැමදාම හැංගිලා ඉන්න බැහැ. උඹ කොච්චර හැංගුණත් අපි උඹ පස්සේ හිටියා. දැන් ඇත්ත කියපන්… ඇයි උඹ ජේලර්ව මැරුවේ…”

පොලිසිවලට බොරු කියා බේරුණද රහස් පොලිස් නිලධාරීන්ට එලෙස කළ නොහැකි බව නාකියාට තේරුම් යන්නට ඇති බවට සැකයක් නැත. ඔහු ජේලර් ජයරත්න ඝාතනය එකක් නෑර හෙළි කරන්නට පටන් ගත්තේය.

“මට සුද්දා තමයි ඕක කරන්න කිව්වේ. එදා මම පුෂ් බයිසිකලේ පැදගෙන මීටියාගොඩ හෝටලයකට ආවා. එතැනදී මට ජැකට් එකක් දුන්නා. ඒත් එක්කම මෝටර් සයිකලයකින් කෙනෙක් ආවා. මම එයා අඳුනන්නේ නැහැ. මම ඒකට නැග්ගා. මඟදී කාර් එකක ආව කෙනෙක් මට වෙපන් එක දුන්නා. ජේලර්ට වෙඩි තියන්න කිව්වට මම ජේලර්ව හඳුනන්නේ නැහැ…”

“පස්සේ ස්කූටියක ආපු කෙනෙක් මගේ ඉස්සරහින් ගියා. එයාගේ බයික් එකෙන් ඉස්සරහින් තව බයික් එකක් ගියා. එතකොට තමයි ස්කූටියේ ඉන්න කෙනා මට ජේලර් පෙන්නුවේ. මම බයික් එකේ ඉඳලම ටී. පනස් හයෙන් වෙඩි තිබ්බා. ජේලර් මහත්තයට වෙඩි වැදුණා. එයා දෙපැත්තට වැනි වැනී පාරේ ගියා. ඒත් එක්කම මගේ බයික් එක පැදපු කෙනා ජේලර්ගේ බයික් එක ළඟට අපේ බයික් එක ළං කළා. ජේලර්ගේ බයික් එක අපේ බයික් එකේ වදින්න වගේ එනකොටම මම ඒකට කකුල තියලා ඒක තල්ලු කරලා ෂොට් හතරක් ජේලර්ට් ගැහැව්වා.”

සැකකරු නිලධාරීන් ඉදිරියේ ජේලර් ජයරත්න වෙඩි තබා මරා දැමූ ආකාරය එසේ සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජයලත් සුද්දා තමාට එම කොන්ත්‍රාත්තුව දුන් බවය.

ජේලර් ජයරත්නට වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු පැමිණි බයිසිකලේම නැඟී යළි මීටියාගොඩ ප්‍රදේශයට යන අතරමඟදී ඔහු හමුවීමට එන මොටෝරිය වෙත සැකකරු ටී. පනස්හය ගිනි අවිය භාරදී ඇත. පසුව යතුරුපැදියෙන් බැස ගන්නා වෙඩික්කරු තම ජැකට්ටුව ගලවා යතුරුපැදිකරුට එය ලබාදෙන්නේ “මේක ගිහින් පුච්චලා දාපන්” යැයි කියමින්ය. ඉන් අනතුරුව යතුරුපැදිකරු මීටියාගොඩ පිහිටි  තුවක්කුකරු ගොඩකරගත් හෝටලයට ගොස් තුවක්කුකරු පැලඳ සිටි ජැකට්ටුව පුලුස්සා දමා ඇත.

ඉන් අනතුරුව තුවක්කුකරු තම පාපැදිය නතර කර තිබූ තැනට ගොස් එහි නැඟී සිය නිවෙසට ගොස් තිබිණ.

කෙසේ වෙතත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට රහස් පොලිසියට හැකි විය.

“මෙයා තුන් පාරක්ම ජේලර් ජයරත්නට පිස්ටල් එකකින් වෙඩි තියන්න අම්බලන්ගොඩ ස්ටේෂන් එකට ගිහින් තිබුණා. ඒත් ඒ එක පාරකවත් මිනිහට ජේලර්ව හරියට හඳුනගන්න බැරි වුණා. ඒ නිසා තුන් පාරම මිස් වුණා. පස්සේ තමයි ටී. පනස් හයකින් ජේලර්ට ගහන්න ප්ලෑන් කරන්නේ.”

ජේලර් ජයරත්න ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ලැබී ඇත්තේ රුපියල් 75,000ක් පමණි. එම මුදල ලබා ගැනීම සඳහා ඔහු ගොස් ඇත්තේ කුඩා දරුවකු සමඟ සිය පාපැදියෙනි. ඒ කිසිවකුටත් ඔහු ගැන සැක නොසිතෙන අයුරිනි. කෙසේ වෙතත් එම මුදල ලබාගැනීමෙන් පසු මොහු නිවෙසින් අතුරුදන් වී තිබේ. මොහුට එම මුදල අවස්ථා දෙකකදී ලබාදී ඇති අතර ඒ සෑම වාරයම ඔහු පාපැදියෙන් යන්නේ දරුවකු සමඟය. ඝාතනය සැලසුම් කළ අය විසින් මොහු වෙත විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී මොහු ඩුබායි රාජ්‍යය වෙත යවා ඇත්තේ ඉන් පසුවය. එහෙත් මාස 7ක පමණ කාලයක් එරට රැඳුණු ඔහු නැවත මෙරටට පැමිණ ඇත්තේ ඔහු ගැන පොලිසියේ අවධානය යොමුව නැතැයි විශ්වාස කළ නිසාය. ඉන් අනතුරුව දිගු රැවුල කපා වෙනත් පුද්ගලයකු ලෙස මොහු තැන තැන රැඳෙමින් ජීවත්ව සිටියදී මෙසේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජේලර් ජයරත්න ඝාතනය සිදුවී මේ වන විට වසර තුනක් ගෙවී ගොසිනි. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අම්බලන්ගොඩ පොලිසිය ඝාතනයට අනුබල සහ ආධාර දීමේ චෝදනා මත සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණද  ඝාතන වෙඩික්කරු කොටුකරගත නොහැකිව තිබිණි. ඒ, ඔහු රටින් පලාගොස් ඇති බවට විශ්වාස කරමින් සිටි නිසාය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී රට ගිය බව කී ප්‍රධාන සැකකාර “නාකියා” මෙලෙස කොටුකර ගත හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකළ එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රතන්ත්‍රි මහතා කොළඹ දකුණ කොට්ඨාසය භාර වත්මන් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාය. එවකට අම්බලන්ගොඩ  මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාව සිටි ඉන්දික ගමගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු වන අතර මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක එච්.ටී.එම් තුෂාර මහතා වත්මන් මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාය.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.

 කීර්ති මෙන්ඩිස්