රාජ්‍ය ඔෟෂධ සංස්ථාව බිඳවැටීමේ අවදානමක්

0
17

අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග 300කටත් වැඩි ප්‍රමාණයක හිඟයක් රටේ පවතිද්දී ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව මිල නියාමන ක්‍රමවේදයකින් තොරව ක්‍රියා කිරීම හේතුවෙන් මාස හයක් තරම් කෙටි කාලයක් තුළ රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව බිඳවැටීමේ අවදානමක් පවතින බව එම සංස්ථාවේ වෘත්තීය සමිති හා ඔෟෂධ සැපයුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ සංස්ථාවේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ දුර්වල කළමනාකරණය යටතේ පවත්වාගෙන ගිය සංස්ථාව ඔෟෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් නොගෙවා හිඟ තබා තිබෙන බවත් වර්තමානයේ ඔෟෂධ ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් නොතිබීමත් ඔෟෂධ නියාමන අධිකාරියට මිල නියාමන සූත්‍රයක් නොතිබීමත් හා එම කමිටුවේ උදාසීනත්වයත්, ඔෟෂධ ආනයනයට ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුව ඔෟෂධ ආනයනයට මුදල් වෙන්කරදී ඇතත් ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව අවශ්‍ය මිල සූත්‍රයක් පිළියෙල නොකිරීමත් මේ ඔෟෂධ හිඟයටත් සංස්ථාව සතු ඔෟෂධහල්වල අලෙවි කෙරෙන ඔෟෂධ ප්‍රමාණය බෙහෙවින් හිඟවීමත් නිසා මේ කනගාටුදායක තත්ත්වය උදාවී තිබෙන බවයි.

ශ්‍රී  ලංකා ඔෟෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පසුගිය අගෝස්තු 08 වැනිදා පැවැති සාකච්ඡාවේදී ක්‍රමවත් මිල නියාමන සූත්‍රයක ඇති අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර වහාම මිල නියාමන සූත්‍රයක් එළිදැක්වීමට ඇමැතිවරයා එකඟ වී ඇතත් ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව එම අවශ්‍යතාව ඉටුකිරීම නිරන්තරයෙන් ප්‍රමාද කරන බවත් පවසයි. එසේම මෙම මිල නියාමන කමිටුවේ අවුරුදු 80 තරම් වයසැති කමිටු සාමාජිකයන් තබාගෙන මිල නියාමන සූත්‍රයක් හඳුන්වා දෙන්නේ කෙසේදැයි අදාළ අංශවල බලධාරීහු ප්‍රශ්න කරති.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවට නැවත ලියාපදිංචිය අලුත් කිරීමට ඉදිරිපත් කර ඇති ඔෟෂධ වර්ග 600ක් පමණ ගෙන්වා ගැනීමට අදාළ ලිපිගොනු ගොඩ ගසාගෙන තිබෙන බවත් අලුතින් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු 200ක් පමණ අනුමැතිය නොදී ගොඩගසා තිබෙන බවත් වාර්තා වේ. මේ තත්ත්වය හමුවේ සැපයුම්කරුවන් ඔෟෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයකට මුහුණපා සිටී.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ පවතින දුර්වලතාව සහ උදාසීනත්වය හමුවේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගන්නට එන රෝගීන්ට අත්‍යවශ්‍ය ඔෟෂධ නොමැතිව මියැදෙන්නට සිදුවන තත්ත්වයක් මේ නිසා උදාවී තිබේ.

ඔෟෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ සාමාජිකයන්ගේ සුදුසුකම්, වයස, මිල නියාමනය පිළිබඳ තිබෙන අත්දැකීම් හා මේ වනවිට මිල නියාමනය සඳහා යොදාගන්නා ක්‍රියාදාමයන් මොනවාදැයි සොයාබලන ලෙස ඔෟෂධ සංස්ථාවේ හා ඔෟෂධ ආනයනකරුවන්ගේ සංගම් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධාන වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කරයි.