රෂ්ඩි මරන්න පිහියෙන් ඇන්න මවුපියන්ටත් එපා වුණු උන්මත්තකයා…!

0
16

ලෝක ප්‍රකට සාහිත්‍යකරුවකු වන සල්මන් රෂ්ඩි ඝාතනය කිරීමට ගත් උත්සාහය පසුගිය දිනවල ලෝකයම තිගැස්මට පත් කළ සිදුවීමක් විය. කොයි මොහොතක හෝ ඔහුට මෙවැනි ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි යන අදහසක් කලෙක සිටම පැවති බව රහසක් නොවේ. 1989 වසරේ සිටම ඔහු මෙම තර්ජනයට මුහුණ දී සිටියේය. ප්‍රධාන වශයෙන්ම ඊට හේතු වූයේ 1988 වසරේ ඔහු විසින් පළ කරන ලද The Satanic Verses

නමැති කෘතිය සම්බන්ධයෙන් ඇතැම් මුස්ලිම් කණ්ඩායම් වෙතින් එල්ල වූ විරෝධයයි. එම කෘතිය සැලකුණේ ඉස්ලාම් ආගමට නිගරු කරන්නක් වශයෙනි.

පසුගිය 12 වැනි දින රෂ්ඩි ඉලක්ක කර ප්‍රහාරය එල්ල වූයේ ඔහු ඇමරිකාවේ නිව්යෝක් නුවර ශ්‍රවණාගාරයක දේශනයක් සඳහා සූදානම්ව සිටියදීය. ඒ වනවිට  රෂ්ඩි වේදිකාව මත රැඳී  සිටි අතර දේශනය සංවිධානය කළ ෂටාක්වා ආයතනයේ නිලධාරියකු ඔහු පිළිබඳ හැඳින්වීමක් කරමින් සිටියේය. ප්‍රහාරකයා වේදිකාව මතට දිවවිත් රෂ්ඩිට පිහියකින් අනින්නට පටන් ගත්තේ එම අවස්ථාවේයි. ඒ වනවිට වේලාව පෙරවරු 10.47ට පමණ වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ප්‍රහාරකයා දස වතාවක් පමණ රෂ්ඩිට පිහියෙන් ඇන තිබිණි. උදරය ප්‍රදේශයට පිහි පහර 4ක්ද, බෙල්ලේ දකුණු පසට පිහි පහර 3ක්ද එල්ල වී තිබූ බව සඳහන් වේ. දකුණු ඇසටද තුවාල සිදුව ඇති බව වාර්තා විය. එමෙන්ම පපුව ප්‍රදේශයට සහ දකුණු කකුලේ කලවා ප්‍රදේශයටද පිහි පහර එක බැගින් එල්ල වී තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.

රෂ්ඩිගේ වාසනාවට මෙන්  ඔහුගේ දේශනය ඇසීමට පැමිණ සිටි පිරිස අතර වෛද්‍යවරයෙක්ද සිටියේය. ඔහු වහා වේදිකාව මතට පැමිණ රෂ්ඩිට ප්‍රතිකාර කිරීමට පියවර ගත්තේය. සිදුව තිබූ තුවාල බරපතළ බව ඔහු ප්‍රකාශ කළත් ඒවායින් රෂ්ඩිගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොවනු ඇතැයි යන්න ඔහුගේ නිගමනය විය. කෙසේ නමුත් තුවාල ලබා සිටි

රෂ්ඩි හෙලිකොප්ටරයක් මඟින් වහාම රෝහලක් වෙත ගෙන යනු ලැබිණි.  රෂ්ඩිගේ දකුණු ඇසේ පෙනීම අහිමි විය හැකි බවට අදහස් පළ වූ අතර අක්මාවටද එක් අතක ස්නායුවලටද හානි සිදුව ඇති බවක් සඳහන් වූයේය.

කෙසේ හෝ වේවා ප්‍රහාරකයාට එතැනින් පලායෑමට ඉඩ ලැබුණේ නැත. එම අවස්ථාවේ එහි සිටි ආරක්‍ෂක නිලධාරීහු වහාම ඔහු අල්ලා ගැනීමට කටයුතු කළෝය. මෙම පුද්ගලයා හාදි මතාර් නමැති 24 හැවිරිදි තරුණයෙකි. ඔහු රෂ්ඩිට මෙම ප්‍රහාරය එල්ල කළේ රෂ්ඩි ඉස්ලාම් ආගමට අපහාස කරන්නකු බවට ඔහු තූළ වූ විශ්වාසය නිසා බව හාදිගේ ප්‍රකාශ තුළින් පෙනී යයි.

 “මම ඔහුට කැමැති නැහැ. ඔහු ඉස්ලාම් ආගමට, ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසයන්ට  පහර දෙන කෙනෙක්” බන්ධනාගාරයේ සිට මාධ්‍ය ආයතනයක් සමඟ කළ සාකච්ඡාවකදී මතාර් සඳහන් කර තිබිණි.

මතාර් ඇමරිකාවේ වාසය කළද ඔහුගේ පියා ජීවත් වන්නේ ලෙබනනයේයි. මතාර් කළ ක්‍රියාවෙන් පසු ඔහුගේ පියා නිවෙස තුළට වැදී දොරගුළුලාගෙන සිටින්නට පටන්ගත් බවත් කිසිවකු සමඟ කතා නොකරන බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර මතාර්ගේ මව වන සිල්වානි ෆා‍ෙදා්ස්  සිය පුතු සම්බන්ධයෙන් කතා කර තිබුණේ මහත් අප්‍රසාදයෙනි. “මම මීට පස්සේ ඔහු සමඟ කතා කරන්නේ නැහැ” යැයි පවසා තිබූ ඇය තව දුරටත් කියා තිබුණේ හාදි කළ ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවයි. එමෙන්ම රෂ්ඩි ඉක්මනින් සුව වනු දැකීම තම අපේක්‍ෂාව බවක්ද ඇය පවසා තිබුණාය. “රෂ්ඩි මහත්මයා ගැන මට කනගාටුයි“ ෆා‍ෙදා්ස් කියා තිබිණි. කෙසේ නමුත් ඇය මෙයට පෙර රෂ්ඩි ගැන අසා තිබී නැත. ඇය සඳහන් කර තිබුණේ තමා පොත්පත් කියවන කෙනකු නොවන බවයි.

බන්ධනාගාරයේ සිට සහභාගි වූ ඉහත කී සාකච්ඡාවේදී මතාර් තව දුරටත් පවසා තිබුණේ රෂ්ඩි තම ප්‍රහාරයෙන් මරණයට පත් නොවීම ගැන පුදුමයක් ඇති වූ බවයි. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රෂ්ඩි ඉතා බරපතළ තත්ත්වයෙන් පසු වූ අතර ඔහුට කතා කරන්නට පවා නොහැකි වූ බව සඳහන් විය. කෙසේ නමුත් මේ වනවිට ඔහු කෙමෙන් සුවය ලබමින් සිටින බවත්, කතා බස් කරන බවත් වෛද්‍යවරුන් පවසා තිබේ.

75 වැනි වියෙහි පසුවන

රෂ්ඩිගේ නවකතා අතරින් වඩාත්ම අවධානයක් දිනාගත්තේ ඔහුගේ සිවුවැනි නවකතාව වූ The Satanic Verses නවකතාවයි. 1988  වසරේ ප්‍රකාශයට පත් වූ මෙම නව කතාවෙන් ඉස්ලාම් ආගමට නිගරු කෙරෙන බවට මුස්ලිම් ලෝකයෙන් චෝදනා එල්ල වූ අතර එවකට ඉරානයේ උත්තරීතර නායකයා වූ  අයතොල්ලා කොමෙයිනි ඔහු මරා දැමිය යුතු යැයි ප්‍රකාශ කළේය. ඒ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 3ක ත්‍යාග මුදලක් පවා ප්‍රකාශයට පත් කළේය. මෙම තත්ත්වය තුළ  වසර ගණනාවක්ම සැඟවී ජීවත් වීමට රෂ්ඩිට සිදු විය. නමුත් මෑත කාලයේ ඔහුට ආරක්‍ෂාව ගැන විශාල ප්‍රශ්නයක් තිබුණේ නැත. 12 වැනිදා ප්‍රහාරය එල්ල වීමට ටික දිනකට පෙර රෂ්ඩි මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ තමාගේ ජීවිතය දැන් බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. තමාට ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර දැන් අතීතයට එක් වූ කාරණයක් බවක්ද ඔහු පවසා තිබිණි.

හාදි මතාර් අයතොල්ලා කොමෙයිනිට බෙහෙවින් ගරු කළ කෙනකු බව පෙනේ. “මම අයතොල්ලාට ගරු කරනවා. මා සිතන්නේ ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනකු බවයි”. යැයි ඔහු පවසා තිබුණේය. කෙසේ නමුත් රෂ්ඩි මරා දැමිය යුතු බවට අයතොල්ලා කොමෙයිනි කර තිබූ ප්‍රකාශය හාදිගේ ක්‍රියාවට බලපෑවේද යන්න පැහැදිලි නැත. මේ අතර හාදි මතාර් පවසා තිබුණේ තමා The Satanic Verses ග්‍රන්ථයේ කියවා ඇත්තේ පිටු දෙක තුනක් පමණක් බවයි.

මෙයට කලකට පෙර The Satanic Verses ග්‍රන්ථය ජපන් බසට පරිවර්තනය කළ හිතෝෂි ඉගරාෂි නමැති ලේඛකයකුද පිහියෙන් ඇන මරණයට පත් කර තිබිණි. ඒ 1991 වසරේයි. මෙම නවකතාව ඉතාලි බසට පරිවර්තනය කළ ඉතෝර් කැප්රියෝලෝ නමැති ලේඛකයාටද ඊට දින කිහිපයකට පෙර පිහියෙන් ඇන බරපතළ ලෙස තුවාල සිදුකර තිබුණේය.

සනත් වික්‍රමගේ