යුරෝපයේ දරුණු නියඟය ලංකාවටත් ආවොත් මොනවා වෙයි ද?

0
75

යුරෝපයේ සුවිසල් ගංගාවල ජල මට්ටම ඉතා පහළට ඇද වැටී ඇති අතර වසර 500කට පසුව ඉතා දරුණු නියඟයකට මුහුණ පෑමට යුරෝපයට සිදුවී ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු හඟවති.

මාස දෙකකින් බටහිර, මධ්‍යම හා දකුණු යුරෝපා රටවලට කැපීපෙනෙන වර්ෂාවක් ලැබී නොමැත. එවැනි වර්ෂාපතනයක් ඇතිවන බවට කාලගුණ අනාවැකියක්ද දක්නට ලැබී නැත.

වසර 500කට පසුව එන දැඩි නියඟය

යුරෝපා කොමිසමේ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජේ‍යෂ්ඨ පර්යේෂණ නිලධාරි ඇන්ඩ්‍රියා ටොරෙටි (Andrea Toreti) පසුගියදා මේ සම්බන්ධයෙන් ප්‍රබල අනතුරු හැඟවීමක් කළේය.

“මෙම වසර තවමත් අවසන් නැති මුත් මගේ අත්දැකීම් අනුව මෙය 2018 වසරටත් වඩා දරුණු විය හැකි වසරක්. වසර 500කට කලින්වත් 2018 වගේ නියඟයක් යුරෝපයට බලපා නැහැ. මෙම වසර ඇත්ත වශයෙන්ම 2018ට වඩා දරුණු වසරක් වෙනවා” යැයි ඔහු එම අනතුරු හැඟවීම කරමින් පැවැසුවේය.

යුරෝපයේ සුවිසල් කර්මාන්තයන්ට දැඩි අවහිරතා

යුරෝපා මහද්වීපය හරහා ගලායන සුවිසල් ගංගා හැකිළීම හේතුවෙන් කර්මාන්තයන්ට සිදුවන බලපෑම අතිවිශාලය. බඩු බාහිරාදිය ගෙනයන නෞකා මෙන්ම සංචාරක කර්මාන්තයට මෙය සෘජුව බලපාන අතර වගා බිම්වලට ජල සැපයුම නොමැති වීම නිසා ලෝක ආහාර නිෂ්පාදනයටද සෘජු බලපෑමක් එල්ල කරයි. ඒ අතරම මත්ස්‍ය හා ජලජ ජීවීන්ගේ ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් එල්ල කරයි. මෙම සුවිසල් නදී ඉවුරේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවල සිසිල්කරණ පද්ධතියට යොදා ගන්නේ මෙම ගංගා ජලයයි. ගංගා වියළීයෑමෙන් බලාගාරවල බලශක්ති නිෂ්පාදනය ඇනහිටීම සිදුවේ. රුසියානු – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් අර්බුදයකට ලක්ව තිබෙන බලශක්ති අර්බුදය මේ හේතුවෙන් වඩාත් දරුණු අතට තල්ලු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රයින් නදියේ ඛේදවාචකය

යුරෝපා ආර්ථිකයට ප්‍රබල ලෙස තීරණාත්මක ගංගාවක් වන රයින් නදිය සැතැපුම් 760ක් දිගු ගංගාවක් වන අතර එය ස්විට්සර්ලන්තයේ සිට ජර්මනිය හරහා ගමන් කරමින් උතුරු මුහුදට වැටෙන්නේ ජර්මනියේ කර්මාන්ත කේන්ද්‍රස්ථානයේ කටයුතුවලට දායකත්වය සපයමිනි.

රයින් නදියේ ජල මට්ටම පහත වැටීමෙන් ඒ හරහා සිදුවන ප්‍රවාහන කටයුතු සියල්ල බිඳ වැටෙනු ඇත. 2018 ඇති වූ නියඟය හේතුවෙන් රයින් නදිය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය මාස හයකට නවතනු ලැබූ අතර එය යුරෝ බිලියන 5ක පමණ පාඩුවකට හේතුවිය. මෙම වසරේ රයින් නදියේ ජල මට්ටම පහත වැටී ජර්මනියේ ආර්ථික වර්ධනය 0.2%කින් අඩුවීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. භාණ්ඩ ප්‍රවාහන නෞකා හා බෝට්ටු සඳහා ප්‍රමාණවත් ජල මට්ටමක් පැවතිය යුතු අතර රයින් නදියේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් මේ වනවිට නෞකා ගමන් කරන්නේ ගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණයෙන් 3/4ක් අඩු භාණ්ඩ රැගෙනය.

ප්‍රංශයට න්‍යෂ්ටික බලාගාරයන්ට ප්‍රශ්නයක්

ප්‍රංශයේ ගංගාවන්හි භාණ්ඩ ප්‍රවාහනය එතරම් ප්‍රමුඛතාවක් නොගත්තද ප්‍රංශයේ විදුලි නිෂ්පාදනයෙන් 70%ක් නිපදවෙන්නේ න්‍යෂ්ටික බලාගාරවලිනි. නිෂ්පාදන මිල නිතරම ඉහළ අගයක් ගන්නා අතර එරට විදුලි නිෂ්පාදන සමාගම නියඟය හේතුවෙන් විදුලි භාවිතය අඩුකිරීමට බල කරමින් සිටී.

මෙලෙස න්‍යෂ්ටික බලාගාර සිසිල්කරණය සඳහා ගංගා ජලය භාවිත කිරීම ගංගා ජලයේ උණුසුම වැඩි කිරීමට හේතුවෙයි.

මේ සඳහා දැඩි නීති පනවා තිබේ. ගංගා ජල මට්ටම අඩුවී වායුගෝලයේ උණුසුම වැඩිවීමෙන් ගංගා ජලය පමණට වඩා රත් වෙයි. මෙහිදී නිෂ්පාදනය අඩුකිරීම මිස න්‍යෂ්ටික බලාගාරයන්ට වෙනත් විකල්පයක් නොමැත. මේ වන විටත් ප්‍රංශයේ ගරොනි (Garonne), රොනී (Rhone) සහ ලුහ්වාර් (Loire) ගංගාවන්හි ජලය පමණට වඩා උණුසුම්ව පවතී. එහෙයින් ප්‍රංශයේ න්‍යෂ්ටික බලධාරීන් ඉකුත් සතියේ න්‍යෂ්ටික බලාගාර පහකට ජලයේ උණුසුම පිළිබඳ නීති කඩමින් කටයුතු කිරීමට තාවකාලික අවසරයක් ලබාදෙන ලදී.

ඉතාලියේ අස්වැන්නට මරු පහරක්

මේ අතර ඉතාලියේ දිගම ගංගාව වන පෝ (Po) ගංගාවේ ජල බැස්මේ වේගය 1/10කට බැස ඇත. එහි වතුර මට්ටම සාමාන්‍ය මට්ටමෙන් මීටර් 2ක් පහළට බැස ඇති අතර ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැත. මේ හේතුවෙන් ඉතාලියේ ඉරිඟු, තිරිඟු, රිසටෝ හාල් නිෂ්පාදනයට පහර වැදී තිබේ.

පෝ තැනිතලාව ඉතාලියේ කෘෂි නිෂ්පාදනයෙන් 30% – 40%ත් අතර ප්‍රමාණයකට දායකත්වය දෙයි. එසේ තිබියදී එරට හාල් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ අස්වැන්නෙන් 60%ක් අහිමි විය හැකි බව කල් තබා අනතුරු හඟවා ඇත. මීට හේතුව වී ඇත්තේ ගංගා ජල මට්ටම අඩුවීම හේතුවෙන් මුහුදු ජලයෙන් ගංගා ජලය දූෂිත වීමත් ලුණු මිශ්‍ර වූ ජලය කුඹුරු වගාවන් වියළා දැමීමට හේතුවීමත්ය.

වැනීසියේ – බැවේරියාවේ ජලජ ජීවීන්ගේ ඉරණම

වැනීස් නගරයට ආසන්න ආරක්ෂිත කෙත් භූමිවල උණුසුම වැඩිවීම හා උදාසීන ජල ප්‍රවාහය ජලයේ ඔක්සිජන් මට්ටම හීන කිරීමට හේතු වී තිබේ. එම කළපුවල ජීවත්වූ බෙල්ලන්ගෙන් 30%ක් පමණ ඒ හේතුවෙන් දැනටමත් මිය ගොස් ඇත.

ගංගා ජල මට්ටම අඩුවීම හා පරිසර උෂ්ණත්වය වැඩිවීම බොහෝ ජීවීන්ට මාරක තත්ත්වයක් උදාකරදී ඇත. බැවේරියාවේ ඩැනියුබ් (Danube) ගංගාවේ උණුසුම ඉකුත් සතියේදී 25ඛ්– ක උෂ්ණත්වයක් අත්පත් කරගත් අතර එය 26.5ඛ්–  දක්වා මෙම සතියේදී ළඟාවනු ඇතැයි පුරෝකථනය කර තිබිණි. මෙය ජලය කොටස් මිලියනයකට ඔක්සිජන් කොටස් සංඛ්‍යාව හයකට වඩා පහත හෙළීමට හේතු වනු ඇති අතර ට්‍රවුට් මසුන්ට මාරක තත්ත්වයක් උදාකරයි.

ඩැනියුබ් ගඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය ගැටලුවක

යුරෝපයේ දෙවැනි විශාලතම ගංගාව වන ඩැනියුබ් ගංගාව ජර්මනියේ බ්ලැක් ෆොරස්ට් කඳුයායේ සිට කි.මී. 2,850ක් ගෙවමින් කළු මුහුදට වැටෙයි. එය තම ගමන් මඟේදී ජර්මනිය, ඔස්ටි්‍රයාව, ස්ලොවැකියාව, හංගේරියාව, කේ‍රාඒෂියාව, සර්බියාව, බල්ගේරියාව, රුමේනියාව, මෝල්ඩෝවා සහ යුක්රේනය පසුකරයි. ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම පහත වැටීම ඒ හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන යාත්‍රාවන්ට බාධා පමුණුවයි. සර්බියාව, රුමේනියාව සහ බල්ගේරියාව වඩාත් ගැඹුරු ඇළ මාර්ග කණිමින් සිටින්නේ ඩැනියුබ් ගංගාව ඔස්සේ ප්‍රධාන වශයෙන්ම බලශක්ති ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන ප්‍රවාහනය සිදුවන බැවිනි.

නෝර්වේ ජල විදුලිය අපනයනය සීමා කරයි

නෝර්වේ රාජ්‍ය එහි විදුලි උත්පාදනයෙන් 90%ක් සඳහා ජල විදුලිය මත යැපේ. එහි ජලාශයන්හි ජල මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවීම හේතුවෙන් නෝර්වේ රාජ්‍යය සිදුකරන බලශක්ති අපනයනය සීමා කිරීමට සිදුවනු නොඅනුමානය.

සංචාරක ව්‍යාපාරය කඩා වැටෙයි

ස්විට්සර්ලන්ත – ප්‍රංශ දේශ සීමාව හරහා ගලා බසින ඩවුබ්ස් ගංගාව (Doubs River) වියළීයෑම හේතුවෙන් සංචාරකයන් ගෙනයන සංචාරක බෝට්ටු වියැළුණු වැලිතලාවන්හි හුදෙකලාව නවතා තිබේ. ඒ ආශි්‍රතව පැවතුණු සංචාරක ව්‍යාපාරය කඩා වැටෙමින් පවතී. එම ගංගා ජලයෙන් පෝෂණය වූ ගොවිබිම් මාස කිහිපයක් තිස්සේ පැවති නියඟයෙන් වියළී ගොසිනි.

බි්‍රතාන්‍ය හෝස් බට තහනමක

පසුගිය දිනවල බි්‍රතාන්‍යයටද අන්තරායකර පරිසර උෂ්ණත්වය ඉහළයෑම ගැන අනතුරු හැඟවීමක් කර තිබිණි. එහිදී ජලාශයන්හි පහළ ජල මට්ටම හේතුවෙන් වේල්සය හා බි්‍රතාන්‍ය පුරා හෝර්ස් බට භාවිත කිරීමේ තහනමක්ද පැනවීමට බි්‍රතාන්‍ය යොමුවිය. Hose Pipe ban යනුවෙන් පැනවූ මෙම තහනම මඟින් ගෙවත්තේ පැළවලට ජලය සැපයීම, පිහිනුම් තටාක පිරවීම, වාහන සේදීම, ‍ෙදාර ජනෙල් හේදීම වැනි දෑ තහනම් වේ.

ස්පාඤ්ඤයේ ගොවීන් එහි පවතින දැඩි නියඟය හේතුවෙන් ඔලිව් තෙල් නිෂ්පාදනය පහත වැටෙනු ඇතැයි බියෙන් පසුවෙති. ස්පාඤ්ඤය ලෝකයේ ඔලිව් තෙල් නිෂ්පාදනය අතින් තුන්වැනි තැන ගත්ත රටයි.

මෙයාකාරයට යුරෝපා සංගමයට හා බි්‍රතාන්‍යයට අයත් ප්‍රදේශ ගණනාවකටම දැනටමත් දැඩි නියඟයක් බලපා ඇති අතර එම ප්‍රදේශවලින් 65%ක පමණ පදිංචි ජනතාව නියඟය පිළිබඳ අනතුරු හැඟවීම් හෝ දැඩි උපදෙස් ලබමින් සිටිති.

ඇසට කඳුළු ගෙනෙන ඩේ‍රා්න දර්ශන

යුරෝපයේ දැවැන්ත ගංගා හිඳී ගොස් ඇති ආකාරය පෙන්වන ඩේ‍රා්න ඡායාරූප ඇතිව ඇති තත්ත්වයේ භයංකරත්වය පෙන්වාදෙයි. එසේම ජලයෙන් පිරී ගිය එම තේජාන්විත ගංගා වරක් දුටුවකුගේ සිත කම්පා කරයි. දෑසට කඳුළු නංවයි.

කලෙකට ඉහත පතපොතින් කියැවූ කලගුණික විපර්යාසයන් අපගේ ඇස් පනාපිට දැකගත හැකි වී තිබේ. සොබාදහමින් ලැබී ඇති මහඟුම දායාදය වන ජලයද මෙසේ හිඟවීම ලෝකයේ ඉදිරි ගමන පිළිබඳ බිය සංකා මතු කරන්නක් වී තිබේ.

රු කාරියවසම්