මේක නූතන ටෙලිවිෂනයේ හැඩය උඩුයටිකුරු කරන වැඩක්

0
69

“5 Million Money Drop” නමින් අලුත්ම Game show එකක් පසුගිය සති අන්තයේදී සිරස නාළිකාව තුළ  විකාශය වූ ආකාරය ඔබට මතක ඇති. පළමු වැඩසටහන හරහාම YouTube ඇතුළු සාමාජ මාධ්‍ය තුළ ට්‍රෙන්ඩින් නම්බර් 01 බවටත්, මෙරට ප්‍රේක්ෂක ජනතාව අතර වැඩිවශයෙන් කතාබහට ලක්වන වැඩසටහන බවට පත්වීමටත් එම වැඩසටහනට හැකිවුණා. හදගැස්ම අපත් එම වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වන තාරක හෙට්ටිආරච්චි මහතා සමඟ මේ අයුරින් සම්මුඛ වීමට සිතුවේ ඒ පිළිබඳ වැඩි විස්තර දැන-කියා ගැනීමටයි. 5 Million Money Drop කියන්නේ ලංකාවේ අපිට තරමක් වෙනස්, නවමු සංකල්පයක්. අපි ඒ ගැන මුලින්ම කියමු?

ඔව්. 5 Million Money Drop කියන්නේ තරගකරුවන් දෙදෙනෙක් මිලියනපතියන් කරන Game show එකක්. මෙම වැඩසටහන “The Million Pound drop” යන සන්නාමය යටතේ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ Fox TV හරහා විකාශය වුණා. “5 Million Money Drop” Game show කියන්නේ එම සංකල්පය අප රටට ගැළපෙන ආකාරයට නිර්මාණය කළ වැඩසටහනක්.

ලෝකයේ අනෙක් රටවල්වල මෙම වැඩසටහනට ලැබුණු ඇගයීම් සහ සම්මාන ගැන මතක් කළොත්?

මෙම සම්මානනීය Game show සංකල්පය, මේ වනවිට රටවල් 50කට වඩා වැඩි ගණනක, වැඩසටහන් ලෙස ගත් කල 2,500කට වඩා වැඩි ප්‍රමාණයක් විකාශය වුණා.

මෙම වැඩසටහන දිනාගත් සම්මාන අතර British Academy Film Awards උළෙලේදී දර්ශනීය ඩිජිටල් නිර්මාණශීලීත්වය ඇගැයීම වෙනුවෙන් ලද සම්මානය වඩාත් කැපීපෙනෙනවා. එසේම තවත් සම්මාන උළෙල රාශියකදී “හොඳම විනෝදාස්වාදක වැඩසටහන” ලෙසින්ද සම්මාන දිනාගෙන තිබෙනවා.

මෙම වැඩසටහන සිදුවන ආකාරය නැතිනම් මෙම වැඩසටහනේ ආකෘතිය ගැනත් කෙටියෙන් යමක් කියමු?

ඔව්. මුලින්ම මෙම වැඩසටහනට එකිනෙකට හොඳින් හ¾දුනන තරගකරුවන් දෙදෙනෙක් සහභාගි කරවනවා.

තරගය ආරම්භයේදී එම තරගකරුවන් දෙදෙනාට මිලියන 5ක මුදලක් පිරිනැමෙනවා. ඉන්පසුව සාමාන්‍ය දැනුම ඇසුරෙන් නිර්මාණය කරන ලද ප්‍රශ්න 7කට ඔවුන් දෙදෙනාට මුහුණදීමට සිදු වනවා.

එහිදී එක් එක් ප්‍රශ්නයේදී තරගකරුවන් දෙදෙනාට නිවැරදි පිළිතුර තෝරා ගැනීමට තත්පර ගණනක කාලසීමාවකුත් අප ලබා දෙනවා.

තරග කිරීමේදී, ඔවුනගේ අභිමතය පරිදි, පිළිතුරු සහිත තිරය  මත අප ලබා දුන් මුදල් තැබීම කළ යුතුයි. සෑම පිළිතුරක් සඳහාම ස්වයංක්‍රීයව විවෘත වන ද්වාරයක්ද තිබෙනවා. වැරදි පිළිතුරු සඳහා තබන මුදල Money Drop ද්වාරය හරහා පහතට වැටී අහිමි වී යනවා. මෙහිදී මුළු මුදලම අවදානමේ නොදමා බහුවිධ පිළිතුරු මත තරගකරුවන්ට මුදල් තැබිය හැකිය.

ප්‍රශ්න 7ම අවසන් වූ පසුව ඉතිරි වන මුදල තරගකරුවන්ට ජයග්‍රාහී මුදල ලෙස හිමි වේ.

මෙවැනි තරගාවලියක් ඉදිරිපත් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මෙහෙමයි. සිරස TV වශයෙන් අප සෑමවිටම ප්‍රේක්ෂකයන්ට උසස් රසවින්දනයක් ලබාදීම උදෙසා විවිධ රියැලිටි වැඩසටහන්, නාට්‍ය සහ ප්‍රවෘත්ති පවා ජනතාවාදීව, ඉදිරිපත් කරනවා. තවද සිරස TV කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව රියැලිටි වැඩසටහන් මෙන්ම Game show මෙරටට හ½දුන්වා දුන් පළමු නාළිකාවයි. “Who wants To Be A Millionaire” සහ “The Voice” වැනි ජාත්‍යන්තර වරලත් වැඩසටහන් හා එක්ව සිරස TV අපි, මින් පෙරත් දේශීය හැඩයට ගැළපෙන ආකාරයෙන් “සිරස ලක්ෂපති” සහ “The voice Sri Lanka” වැනි වැඩසටහන් ශ්‍රී  ලාංකේය ජනතාවට හඳුන්වා දුන් බව ඔබට මතක ඇති. එකී වැඩසටහන් හුදු ජනප්‍රිය වැඩසටහන්වලට එහා යමින් ලාංකේය දක්ෂයන්ව  ජාත්‍යන්තර තලයට රැගෙන ගියා. “The Voice Teens” සහ “Sri Lankans Got Talent” කියන්නෙත් එසේ තාරුණ්‍යයේ සිහින යථාර්ථවාදී මාවත් වෙත යොමු කරන ලද ජාත්‍යන්තර තලයේ අවකාශයන් කිහිපයක්.

පෙර අවස්ථාවලදී මෙන්ම, “5 Million Money Drop” කියන මෙම නවතම වැඩසටහනත් අතිශය සාර්ථක වෙයි කියා ඔබ සිතනවාද?

අනිවාර්යෙන්ම ඔව්. නූතන ටෙලිවිෂනයේ හැඩය උඩුයටිකුරු කරන සිරස TV අපගේ මීළඟ පෙරළිය වන්නේ, තරගකරුවන්ට පමණක් නොව නරඹන්නන්ටද අවසාන මොහොත වනතෙක් හුස්ම ගැනීම පවා අමතක කරවන ස්වරූපයේ Game show වැඩසටහනක් හ¾දුන්වා දීමයි. ශ්‍රී  ලංකාවේ දැවැන්තම මාධ්‍ය ජාලයක් ලොව ප්‍රමුඛතම Game show සංකල්පයක් සමඟ සිදුවන මේ සුසංයෝගය පළමුවැනි වැඩසටහනින්ම රට පුරාම පෙරළියක් ඇති කිරීමට සමත් වුණා.

5 Million Money Drop

පළමු වැඩසටහනම මෙරට තුළ අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්වුණා. එය ඔබ ආයතනය පෙර සැලසුමකට අනුව සිදු කළ දෙයක්ද?

කොහෙත්ම නැහැ. පළමු වැඩසටහන විකාශය වීමත් සමඟම “මෙය යම් පිටපතකට අනුව නිර්මාණය වූවක්” යනුවෙන් සමාජ මාධ්‍යජාලා ඇතුළු අනෙකුත් විවිධ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් පවසා තිබුණා. නමුත් මෙහිදී විශේෂයෙන්ම කිවයුතුයි, අපි ඉතාම විධිමත් ආකාරයකට තමයි මේ සඳහා තරගකරුවන් තෝරා ගන්නේ. එහිදී යම් අයකු 7788 අංකය අංකනය කළ පසු, ඔහුට හෝ ඇයට ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණ 02කට පෙනී සිටීමට සිදුවනවා. ඉන්පසු මුහුණට මුහුණ සම්මුඛ පරීක්ෂණයකටත් (Face to Face Interview) මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් තේරුණු තරගකරුවන් තමයි අවසානයේදී මෙම තරගයට තෝරා ගන්නේ.

එහිදී “ඔබ හැසිරිය යුත්තේ සහ කතා කළ යුත්තේ මෙවැනි ආකාරයටයි” යනුවෙන් කිසිදු මොහොතකදි අපි ඔවුනට පවසන්නේ නැහැ. එනිසා කිසිදු ආකාරයක පිටපතකට අනුව හෝ පෙර සැලසුම් කතාංගයක් (Pre-Planning Episode) නොවෙයි එදා විකාශය කළේ. ඒ අතර අපි මීට පෙර Episodes ගණනාවක්ම රෙකෝඩ් කරලා අවසන් කරලා තමයි තිබුණේ. එහිදී අප ආයතනය සිදුකළ සාකච්ඡාවලදී මේ Episode එක පළමු වැඩසටහනට හොඳයි කියා අප තීරණය කළා. ඒ අනුවයි එය පළමුව විකාශය වුණේ. ඒ හැර මෙය කලින් ප්ලෑන් කොට කරපු දෙයක් නොවෙයි. එමෙන්ම මෙයට ඉදිරිපත් වී සිටින තරගකරුවන්ගේ ඉරියව් පවා ඒ මොහොතේ සජීවීව ඒ අය තුළින් මතුවූ ඉරියව් තමයි අපි රූගත කරගත්තේ. ඒ හැර එම තරගකරුවන් කොයි වගේ තරගකරුවන්ද කියා වත්, ඔවුන් මුහුණට මුහුණ සිදු කළ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙනතුරු අප දන්නේ නැහැ.

මෙවැනි වැඩසටහනක නිවේදකයා විධියට චරිත් අබේසිංහ වගේ කෙනකු තෝරා ගත්තේ ඇයි?

සිරස TV අපිට ඕන, අලුත් කැරැක්ටර්ස් බිහි කරන්නයි. සිරස TV කියන්නේ එදා සිටම ඒ සඳහා බොහොම ප්‍රසිද්ධ නාළිකාවක්. රටේ දැනටමත් ඉතාම ජනප්‍රියතම චරිතයක් මේ සඳහා තෝරාගන්නවාට වඩා, සිරසටම ආවේණික වූ පෞරුෂයක් ගොඩනඟන වෙනත්ම චරිතයක් මේ සඳහා තෝරා ගැනීම සිරස අපටත් හොඳයි. රටටත් හොඳයි. ඉතින් අපි හිතුවා මේ වැඩසටහනේදී එවැනි අලුත්ම චරිතයක් ගොඩ නැඟුවොත් එය සාර්ථක වෙයි කියා අප සිතුවා. එය සාර්ථක වෙලා තිබෙන බව පළමු Episode දෙකෙන්ම ලැබෙන ප්‍රතිචාර අනුව අපට හොඳින්ම පැහැදිලි වනවා.

දිනූෂා මනෝරි නිශ්ශංක