මුහුද මැද්දේ ඉන්න අපිට දියකිඳුරිය වෙලා එන්න Maarya

0
397

මම දන්න විදියට ඕස්ට්‍රේලියානු රජය ලංකාව ගැන රටක් විදියට දන්නේ ක්‍රම දෙකකට විතරයි කිව්වොත් මේ ආටිකල් කියවන ඔයාලා පිළිගනීද මන්දා? ඒත් මම, එහෙ ඉන්න මිතුරන්ගෙන් ඇහුවම එයාලා කියන විදියට නම් මගේ නිගමනය හරියටම හරි. එයාලා අපිව වැඩිය අඳුරනවා මදි, ඒ අපි හොඳටම දන්න දේවල් මොනවද කිව්වොත් අංක එක ක්‍රිකට්. මම හිතන්නේ ඒ පොයින්ට් එකනම් අවිවාදාත්මකයි. මොකද මෑතක් වනතුරුම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් එකට හා ප්‍රේක්ෂකයන්ට ‘අරහං’ ම ටීම් එක වුණේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක. ඒක පැත්තකින් තියමුකෝ.

අංක දෙක ගත්තොත් නම් මේ ශුද්ධ වූ පුණ්‍ය භූමිය දාලා ඕස්ට්‍රේලියාවට පනින්න බෝට්ටු ටුවර්ස් යන අපේ අපේම නෑදෑයෝ නිසා තමයි එයාලා අපිව හොඳටම දැනගෙන ඉන්නේ. කොච්චර ප්ලෑන් කරලා ණය වෙලා හරි බෝට්ටුවට තෙල් ගහලා, කෑම බංකර් ගහලා අන්තිමට නතර වෙන්නේ නම් පැපුවානිව්ගිනියාව කියන නොදියුණු දූපතේ තමයි. (සමාවෙන්න! ලංකාවට වඩා නම් දියුණු ඇති හැබැයි.) මේ ක්‍රියාවලිය නිසා ඕස්ට්‍රේලියානු රජය අපිට කොච්චර ආදරෙයිද කියනවා නම් ඒ රජයේ සල්ලි අතින්-කයිට් කරගෙන ඇඩ් පවා හැදුවා අපිට එන්න එපා කියන්න. බලන්න නේද?

ඉතින් අද මම මේ කියන්න යන්නේ එහෙම බෝට්ටු ටුවර් එකක් යන්න ගිහින් ඉල්ලන් කන්න හදපු ‘ලංකාවේ අයියලා’ ටික දෙනෙක්ගේ කතාවක් ගැනයි.

මේ ෆිල්ම් එකේ ප්ලොට් එක සරලව ගත්තොත් ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය එපා වුණ මිතුරන් හත්දෙනෙක් ධීවර බෝට්ටුවක නැඟලා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ ඒකායන අරමුණෙන් පිටත් වෙනවා. වාසනාවකට හෝ අවාසනාවකට ඔවුන් සියලු දෙනාම හොඳම මිතුරන්. නමුත් ඔවුන්ගේ එකමුතුකමට, සහෝදර ප්‍රේමයට කණාකොකා හඩගන්න හේතුව වන ස්ත්‍රී පරාණය වන ‘මාරියා’ බෝට්ටුවේම සිටින බව දන්නේ එකම එක් පුද්ගලයකු විතරයි.

කවුද ඒ පුද්ගලයා? කවුද මේ මාරියා? මරියා ඉතුරු පුද්ගලයන්ගේ ජීවිතයට කෙසේ බලපානු ලබයිද වැනි දහසක් ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔබට අරුණ ජයවර්ධන නම් අති දක්ෂ සිනමාකරුගේ ‘මාරියා’ නම් චිත්‍රපටය නැරඹිය යුතුම වෙනවා.

2011 දී රිලීස් වුණු ‘නිකිණි වැස්ස’ ෆිල්ම් එක වගේම මේ අවුරුද්දේ රිලීස් වුණු “Happy Birthday” කියන ෆිල්ම්ස් බලලා තිබෙනවා නම් අමුතුවෙන්ම මම අරුණ ජයවර්ධනගේ වැඩ ගැන කියන්න ඕනේ නෑනේ?

ලොව පරණම International Film Festival අතර මුල්ම සිනමා උළෙලවල් දෙකෙන් එකක් වන ‘මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල’ එහෙමත් නැතිනම් (MIFF) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන ෆිල්ම් ෆෙස්ටිවල් එකක් වනවා. මේ වසරේදී පැවැත්වීමට නියමිත 44 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ (MIFF) තරගකාරී අංශ නියෝජනය කිරීමට අරුණ ජයවර්ධනගේ ‘මාරියා’ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය ලාංකේය සිනමා කර්මාන්තයට හා රටක් වශයෙන් දිනාගත් විශාල ජයග්‍රහණයක් ලෙස හ¾දුන්වන්න පුළුවන්. මොකද කියනවා නම් ලංකා සිනමා කර්මාන්තයේ පුරාවෘත්ත දෙකක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා ධර්මසේන පතිරාජයන්ට පසුව (MIFF) ගිය එකම සිනමාකරුවා ද වන්නේ අරුණ ජයවර්ධන යි.

දැනට බඥචඵඥප එකක් හෝ ට්‍රේලරයක්වත් අපිට බලාගන්න බැරි වුණාට Film Premiere Show එක එම සිනමා උළෙලේදීම සිදු කිරීමට කටයුතු කරන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ෆිල්ම් එකේ Cast එක ගැන කතා කළොත්, දැනට සිංහල සිනමාවේ සිටින අති දක්ෂයන් සිටින බව බලාගන්න පුළුවන්. ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා සමඟ අති දක්ෂ හේමාල් රණසිංහ , අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර , දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ සහ සුරත් දසනායක යන රංගන ශිල්පීන් මේ සඳහා දායක වී තිබෙනවා.

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන චන්න දේශප්‍රිය මෙහි කැමරාකරණයෙන් දායක වන අතර සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා ද සංගීතයෙන් චින්තක ජයකොඩි දායක වී තිබෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඉන්ද්‍රජිත් සිල්වා දායක වී තිබෙනවා.

ඉතින් මේ මිතුරන්ගේ ජීවිතයේ වැදගත්ම ගමනකට හරස් වන සාගරයේ සුරදූතිකාව ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳයි ද කියලා බලන්න නම් ලාංකේය ප්‍රේක්ෂකයන් වශයෙන් අපිට තව කෙටි කාලයක් ඉවසන්න වෙයි. හොලිවුඩ්/ බොලිවුඩ්වලට සාපේක්ෂව සම්පත් නැති වුණත් මේ තරම් අභියෝග මැද මහ මුහුදත් එක්ක ෆයිට් එකක් දීලා හදපු ෆිල්ම් එකට සම්මාන පිට සම්මාන ලැබේවා! යැයි පතමින් ඒ ෆයිට් එක දුන්න ගේමට දායක වුණු සියලු දෙනාටම ජය වේවා යැයි පතමින් අදට මම නවතින්නම්.

රමෝද් ජයවර්ධන