මිනිසාගේ වෛරයෙන් නපුරු වුණු මුහුදු රකුසාගේ කතාව Sea Beast

0
371

මුහුදු රකුසන් ගැන ඉතිහාසයේ කතන්දර අපට ඕනෑ තරම් අසන්නට, දකින්නට පුළුවන්. ඇමරිකානු සාහිත්‍යධර හර්මන් මෙල් විල්ගෙ මොබිඩික් පොත කියවපු කෙනෙක් හරි කාටූන් එක බලපු කෙනෙක් හරි ඉන්නව නම් හරියටම දන්නවා මේ කතන්දරය එතරම් සොඳුරු නැහැ කියන එක. හර්මන් මෙල්විල් අවුරුදු ගණනාවක් මුහුදු ගමන්වල යමින් නිරන්තරයෙන්ම රචනාවේ යෙදුණ කෙනෙක්. එයා ලෝකයා දෙස හෙළන බැල්ම සුළුපටු නැහැ.

මිනිසා හා සොබාදහම අතර පවතින ගැටුමද ධර්මය හා අධර්මය අතර පවතින ගැටුමද පිළිබඳව නිරන්තරයෙන් සංවේදී වූ මෙල්විල් එම ගැටුම දකින්නේ දෙවියන් වහන්සේ හා මිනිසා අතර පවතින ගැටුමක් විධියට. බලය හා තණ්හාව නිසා මිනිසා, ගහ කොළ, සතා සිවුපාවා හා සමස්ත පරිසරයම තම අණසකට යටත් කර ගන්න දරන උත්සාහය නිසාවෙන් සිදුවන විනාශය තමයි මෙල්විල්ගෙ පරිච්ඡේද 35ක් පුරා දිවෙන පිටු හත්සිය ගණනක කතාවෙ සාරය. සොබාදහමට එරෙහිව මිනිසා කියන මාතෘකාව ගැන 19 වැනි සියවසේ ජීවත් වුණු මෙල්විලේ ගොඩනඟපු මතවාදය ඔන්න ආයෙත් උඩට ඇවිත්.

ඒ 2022 ජූලි 01දා නිකුත් වුණ ‘The Sea Beast’ සිනමාපටය හරහායි. මේක ‘Chris Williams’ කියන අධ්‍යක්‍ෂවරයාගෙ සිනමා නිර්මාණයක්. මේක නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් කළ සිනමාපටයක්. දැන් අපි පොඩ්ඩක් අතීතයට යමු.

ලෙවියාතන් කියන්නෙ ක්‍රිස්තියානියට අනුව දෙවියන් වහන්සේ මවපු පළමු නිර්මාණවලින් එකක්. ඒ වගේම බලවත් සහ නපුරුම නිර්මාණය. බයිබලයේ ලෙවියාතන් හඳුන්වන්නේ බියජනක, මහත් රෞද්‍ර, අති බලවත් සත්ත්වයෙක් විධියට. “ලෙවියාතන්” යන වචනය හීබෘෘ බසෙන් “දඟර” හෝ “ඇඹරුණු” ස්වභාවය යන්න අරුත් ගන්වනවා. යෙසායා 27:1හි ලෙවියාතන් හඳුන්වන්නේ “සීග්‍රයෙන් ගමන් කරන සර්පයා, වක් වෙමින් යන සර්පයා, මුහුදු රකුසා” කියලා. පරණ ගිවිසුමේ ලෙවියාතන් ගැන සඳහන් ඉතා අඩුවෙන්. එහි බොහෝ පාඨවලින් දැක්වෙන්නේ ලෙවියාතන් සැබවින්ම ජීවත්වන සත්ත්වයෙක් බවත් ඔහු (තමන්ගේ සීමාවන් රැකගෙන සිටින) මනුෂ්‍යයන් සමඟ කුළුපග බවක් පෙන්වන ජීවියකු බවයි. ගීතාවලියෙ මේක ලස්සනට කියල දෙනවා.

කොහොම හරි ‘The Sea Beast’ සිනමාපටයට අනුව මිනිසාගේ වෛරය තමයි මේ රකුසව නපුරට ඇද දාන්නෙ. ගීතාවලියෙ තිබුණ විධියට ලෙවියාතන්ට ඕනෑ තරම් සෙල්ලම් කරන්න ඉඩ තිබුණු මුහුදට අයිතිවාසිකම් කියාගෙන එන මිනිසාගේ නපුර තමයි ”The Sea Beast’ හරහා කියවෙන්නෙ. මොබිඩික් නවකතාව දිවයන්නෙ ධවල තල්මසකුගෙ ප්‍රහාරයක් නිසා තමාගෙ පාදය අහිමි වුණ තල්මසුන් මරන්නෙක් වූ මිසර ජාතික කපිතාන් අහාබ් සහ විශාල තල්මසෙක් අතර ඇතිවන අරගලයක් පාදක කරගෙන. ඉශ්මායෙල් තමයි කතාව කියාගෙන යන්නෙ. ඒ වගේම මේ සිනමාපටයෙ එන මෙයිසි බ්‍රම්බල් කියන කුඩා ගැහැනු ළමයා තමයි කතාව කියවගෙන යන්නෙ. ජෙකොබ් කියන පුද්ගලයා තමයි මෙයිසිගෙ සගයා. ඒ වගේම කපිතාන් ජේම්ස් කියන චරිතය මොබිඩික් එකේ අහාබ්ට සමානයි. කපිතාන් ජෙකොබ්ට රජ පවුල ලබා දෙන අභියෝගය වෙන්නෙ රතු පැහැති රකුසාව රැගෙන එන එක. එහෙම වුණොත් ඔබට නිදහස ලබා දෙනව කියලත් රජ පවුල කියනවා. මෙහෙම තමයි මේ රකුසු දඩයම ආරම්භ වෙන්නෙ.

අන්තිමේදි මෙයිසි කියනවා ඉතිහාසය කියන්නෙ පාලක පරපුර නිර්මාණය කරපු ප්‍රබන්ධයක් කියල. මේ වෛරය ඇති කරන්නෙ පාලකයො කියලත් කියන මෙයිසි පොත් පත්වල ලියැවුණු ප්‍රබන්ධ හාරඅවුස්සල පෙන්වල දෙනවා. මේ සිනමාපටය සඟවාගෙන සිටින බරපතළ දේශපාලනය සුළුපටු නැහැ. අනික මේක මෙයිසි කියන කුඩා ළමයගෙ බලකිරීමක්. සමාජයක් වෙනස් කරන්න පටන් ගන්න ඕනෙ කුඩා තැනකින් කියන එක අපිට අවසානයේදි තේරුම් යනවා. ඒ වගේම මුහුද කියන්නෙ අහසටත් පොළොවටත් වඩා බිහිසුණු දේවල් සඟවාගෙන සිටින තැනක්. ඇත්තටම අපි මුහුද ගැන දන්නෙ මොනවාද? මේ මහා දිය ක‍ෙ¾දන් එක බි¾දුවක් තමයි මේ සිනමාපටය. හැබැයි ඒ දිය බි¾දුව සැහැල්ලු නැහැ. ඉක්මනින් බලන්න ‘The Sea Beast’.

 ගිහාන් සචින්ත