මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
139

සිත නිවන සනසන භාවනාව පිළිබඳ සාකච්ඡා කරන සංසාර භාවනා ලිපි පෙළ තුළින් අපි පසුගිය සති කිහිපය තුළ සමථ භාවනා ක්‍රම දෙකක් වන මෛත්‍රී භාවනාව සහ සක්මන් භාවනාව සිදුකරන ආකාරය, ඒවා සිදු කිරීමෙන් අපේ දිවියට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළා. අද අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ තරමක් වෙනස් භාවනා ක්‍රමයක් පිළිබඳවයි. මෙය බුදුරජාණන් වහන්සේ රාහුල කුඩා තෙරුන් වහන්සේට කියා දුන් භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලා පැමිණි රාහුල කුමාරයාව පැවිදි කළේ බුදුරජාණන් වහන්සේ විසින් නොවෙයි. රාහුල කුමාරයාව පැවිදි කිරීමට භාර කළේ සැරියුත් තෙරුන් වහන්සේටයි. මෙසේ පැවිදි වූ රාහුල හිමියන් දිනක් උදෑසන භාවනා කරමින් සිටියා. ඉතින් මේ කුඩා රාහුල සාමණේරයන් වහන්සේ ගසක් පාමුල ඇස් දෙක පියාගෙන කුමක් හෝ භාවනාවක යෙදී සිටියා.

උදෑසන පිණ්ඩපාතය සඳහා වැඩම කිරීමට සූදානම් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගසක් මුල වාඩිවී භාවනා කිරීමට වෙර දරන මේ කුඩා රාහුල සාමණේරයන් වහන්සේව දැක, යමින් ගමන් උන්වහන්සේ අසලට ගොස් “රාහුල, ආනාපානසතිය වඩන්න” යැයි පවසා පිණ්ඩපාතය සඳහා වැඩම කළා. මේ වන විට අවුරුදු 7ක් වැනි කුඩා වයසක සිටි රාහුල තෙරුන් වහන්සේ මහණ දිවියට එළැඹී වැඩි දවසක් ගත වී තිබුණේ නැහැ. එම නිසා රාහුල තෙරුන් වහන්සේ ආනාපානසති භාවනාව පිළිබඳව දැන සිටියේ නැහැ. මේ නිසා රාහුල තෙරුන් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගොස් සැරියුත් මහතෙරුන් පැවසූ, තමන් නොදන්නා ආනාපානසති භාවනාව කුමක්දැයි උන්වහන්සේගෙන් විමසුවා. රාහුල හිමියන්ව තමන් අසලින් වාඩි කරවාගත් බුදුරජාණන් වහන්සේ එදා ආනාපානසති භාවනාව පිළිබඳව රාහුල ස්වාමීන් වහන්සේට කියා දුන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ එදා කුඩා රාහුල හිමියන්ට ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව විස්තර කළා.

මිනිසුන් බොහෝ දෙනෙක් මේ ශරීරය තමන්ගේ යැයි සිතාගෙන සිටිනවා. මේ ශරීරය සැපයි, සුබයි කියා සිතාගෙන සිටිනවා. කුඩා දරුවන්ට පවා ශරීරය තමන්ගේ යැයි දැඩි හැඟීමක් තිබෙනවා. ඒ නිසායි කවුරුන් හෝ තමන්ට ශාරීරිකව පීඩා කළ විට එය ගතට වඩා සිතට දැනෙන්නේ. ශාරීරිකව වේදනාව සුව වුවද, සිතෙහි වේදනාව දිගු කලක් යනතුරුත් පහව නොයන්නේ මේ ශරීරය තමන්ගේ බව දැඩිව සිතාගෙන සිටින නිසායි. තමන්ගේ ශරීරය සුන්දරයි, ලස්සනයි කියා බොහෝ දෙනෙක් සිතා සිටිනවා. නමුත් යථා ස්වභාවය එය නොවේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව රාහුල සාමණේරයන් වහන්සේට අවබෝධ කර දීමට සිතුවා. මේ පිළිබඳව අවබෝධ කරන භාවනාව ධාතුමනසිකාර භාවනාවයි. ධාතූන් කියන්නේ යථා ස්වභාවයයි. මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීමයි. ඒ අනුව ධාතුමනසිකාර භාවනාව යනු යථා ස්වභාවය මෙනෙහි කිරීමයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ,

          පඨවි ධාතුව

–              අපෝ ධාතුව

–              වායෝ ධාතුව

–              තේජෝ ධාතුව

යනුවෙන් ධාතූන් සතරක් පිළිබඳව දේශනා කළා.

පඨවි ධාතුව කියන්නේ තද ස්වභාවයයි. එනම් පොළොවට පස්වීමේ ස්වභාවයයි. මිනිසුන් නිතරම ශරීරය මගේ මගේ කියලා කල්පනා කරලා වැරදි අවබෝධයක් ලබාගෙන තිබෙනවා. අපේ ශරීරය තුළත් පොළොවට පස් වී යන දේවල් තිබෙනවා. ශරීරයේ තිබෙන කෙස්, රෝම, නියපොතු අපි කපනවා. එහෙම නැත්නම් ගැලවී යනවා. අපි ඒවා තබා ගන්නේ නැහැ. අපි ඒවා පොළවට දානවා, එම කෙස් පොළොවට පස් වී දිරාපත් යනවා. මේ කෙස් අපේ ශරීරයේ තිබියදී මගේ කියලා සිතුවට ලස්සන බැලුවට යථාර්ථයට ගොස් බැලූ විට තේරෙනවා, මේ කෙස් පොළොවට පස් වී යන පොළොවට අයිති දෙයක් කියලා. ඊට අමතරව දත් සහ සම කියන අපිට මතුපිටින් පෙනෙන්නට තිබෙන දේවල් සහ ශරීරාභ්‍යන්තරයේ තිබෙන හදවත, වකුගඩු, නහර, දිව, ආමාශය, පෙණහලු, මොළය, ඇටමිදුලු ආදී සියල්ල පොළොවට අයිති දේවල්. ඒවා පොළොවට පස් වී දිරාපත්ව යනවා. ඒ වගේම අපේ ශරීරයේ තිබෙන දියරමය ස්වභාවයෙන් යුතු රුධිරය, සැරව, ක¾දුළු, මුත්‍රා, කෙළ ආදිය අයත් වන්නේ ආපෝ ධාතුවටයි. එම දියරමය ස්වභාවයෙන් යුතු අපෝ ධාතුවට අයත් වන දෑ ජලයට මුසු වී යනවා. මීළඟට වායෝ ධාතුව කියන්නේ සුළඟට සමාන හමාගෙන යන වායුමය ස්වභාවයයි. අපේ ශරීරයේත් මෙම හමාගෙන යන ස්වභාවය දකින්නට ලැබෙනවා.

ශරීරයේ චලනයන් සිදු කරන්නේ වායෝ ධාතුව ආධාරයෙනුයි. මල මුත්‍ර පිට කිරීමට, ආහාර ගලනාලය දිගේ පහළට ගමන් කිරීම සිදුවන්නේ, ආහාර ගත් විට උගුරට ඒම ආදිය සිදුවන්නේ මෙම වායෝ ධාතුවේ ආධාරය හේතුවෙනුයි. බාහිරත් වාතය තිබෙනවා. අභ්‍යන්තරයේත් වාතය තිබෙනවා. අපේ අනවබෝධය නිසා බාහිර තිබෙන වාතය සුළඟ වශයෙනුත් ශරීරය තුළ තිබෙන වාතය මගේ යනුවෙනුත් සිතනවා. මීළඟට තේජෝ ධාතුව කියන්නේ ගින්නයි. අපි ගන්නා ආහාර ජීරණයට ලක් වෙන්නේ තේජෝ ධාතුව ආධාරයෙනුයි. අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම උණ ගැනීම ඇති වන්නේද මෙම තේජෝ ධාතුව හේතුවෙනුයි. මේ ආකාරයට බැලූවිට පිටත පරිසරයේ මෙන්ම අපගේ ශරීර අභ්‍යන්තරයේත් මෙම තේජෝ ධාතුව තිබෙනවා. මේ ආකාරයට ශරීරය මෙම ධාතූන්ට වෙන්කොට බලන්න යැයි බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන්ට දේශනා කළා.

තමන්ගේ ශරීරය පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරට වෙන් කොට බැලූ විට මේ ශරීරය තමන්ගේ කියා සිතිය හැකිද? මේ සියල්ල ස්වභාවධර්මයයි. බුදුරජාණන් වහන්සේ මෙය ලස්සන උපමාවකින් දක්වා තිබෙනවා. ගවයන් මරා මස් සඳහා විකුණන ගව ඝාතකයෙක් උදාහරණයට ගන්න. එම ගව ඝාතකයා හරකාව මරා මස් ටික විකුණන්න ගෙනියන්නේ හරකාව විකුණනවා යන අදහසින් නොවෙයි, මස් විකුණනවා යන අදහසිනුයි. ඒ ආකාරයටම තමන්ගේ ශරීරය තමන්ගේ යැයි නොසිතා මෙම ධාතූන්වලට වෙන්කොට සිතූ විට මගේ ශරීරය කියා සිතන්නට බැහැ. එවිට ඔබට යථාර්ථය අවබෝධ වෙනවා.

මේ විධියට මෙනෙහි කරන විට අපි තුළ තිබෙන මමත්වය නැති වී යනවා. මමත්වය නැති වෙනවා කියන්නේ මානසික පීඩා නැති වෙනවා. මේ ලෝකයේ වෙසෙන යම්කිසි මිනිසකුගේ මානසික පීඩාව වැඩි නම්, ඒ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ මමත්වය වැඩි බවයි. එය සමීකරණයක් ලෙස පැවැසිය හැකියි. මමත්වය වැඩි මිනිසුන්ගේ මානසික පීඩාව වැඩියි. මමත්වය අඩු මිනිසුන්ගේ මානසික පීඩාව අඩුයි. මමත්වය නැති මිනිසුන්ට මානසික පීඩා නැහැ. සරලව රහත් වෙනවා කියන්නේත් මේ කාරණාවයි. අපි මූලිකව මමත්වය ඇති කර ගෙන තිබෙන්නේ අපේ සිරුර පිළිබඳවයි. කුඩා රාහුල තෙරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශරීරය පිළිබඳව ඇති මමත්වය නැති කරන ආකාරය පිළිබඳවයි.

ශරීරය පිළිබඳව තිබෙන මමත්වය නිසා මිනිසුන් කොපමණ පීඩාවට පත් වෙනවාද කියලා අපි දැක තිබෙනවා. තුවාලයක් සිදු වුවොත්, ශරීරයේ කැළලක් ඇති වුණොත්, ශරීරය කැත වුණොත් මිනිසුන් කොපමණ චිත්ත පීඩා විඳිනවාද? අපි ඇයි එලෙස චිත්ත පීඩා විඳින්නේ ශරීරය නිසාද තමන් ශරීරයට මනසින් බැඳී සිටින නිසාද යන්න සිතා බලන්න. එම නිසා ශරීරයට ඇති මානසික බන්ධනය ඉවත් කරගැනීම ඉතාම වැදගත්. මමත්වය නැතිකරගත් මිනිසුන් ඉතාම සරලයි. ඔවුන් තුළ ලොකුකමක් නැහැ. මමත්වය වැඩිවන්නේ මිනිසුන් තුළ ඇති අනවබෝධය නිසායි.

මේ බව දන්නා බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ව කුඩා කාලයේ සිටම යථාර්ථය තේරුම් ගැනීමට හික්මවීම සිදු කරනවා. අපි ජීවිත කාලයෙන් අවුරුදු 80ක් පමණ බොරුවක් ඇත්ත කියලා සිතා සිටිනවාට වඩා එක සුළු මොහොතක් යථාර්ථය මෙනෙහි කිරීම වටිනවා. ධාතු මනසිකාරය කියන්නේ යථාර්ථය මෙනෙහි කරන භාවනාවක්. ඉතාමත් වටින කුසල් බොහෝමයක් රැස්කරගත හැකි භාවනා ක්‍රමයක්. අපි දවස මුළුල්ලේම යථාර්ථයට දුරස් වූ චින්තනයකයි සිටින්නේ. නමුත් ඔබ නිවී සැනසිල්ලේ යම් තැනක වාඩිවී ඔබේ ශරීරය පොළොවට පස්වී යන ආකාරය මනසින් දකින්න පුළුවන් නම් එය ධාතු මනසිකාරය වැඩීමයි. එය ඔබ බස් රථයක වාඩිවී ගමනක් බිමනක් යන අවස්ථාවකදී වුවත් කළ හැකියි.

සත්ත්ව පුද්ගල ස්වභාවය යනුවෙන් ඝන සංඥාවක් තිබෙනවා. එනම් අපි මේ ශරීරය පුද්ගල ස්වභාවයෙන් අල්ලා ගන්නවා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් තේරුම් ගැනීම, දුක දේ සැප ලෙස තේරුම් ගැනීම, අසුබ දේ සුබ වශයෙන් තේරුම් ගැනීම, තමන්ට අයිති නැති දේවල් අයිති දේවල් ලෙස තේරුම් ගැනීම, සංඥා වැරදි ලෙස තේරුම් ගැනීම හෙවත් සංඥා විපල්ලාසය ලෙස හ¾දුන්වනවා. මෙම සංඥා විපල්ලාසය නිසා තමයි දුක ඇති වන්නේ. අපිට වෙනස් වීම, අසුබ බව, අයිති නැති බව තේරුම් ගන්න නොහැකි වූ විට අපි එම දේවල්වල ඇලෙනවා. නමුත් අප මේ ධාතුමනසිකාරය නිසි ලෙස වඩනවා නම් අපිට මේ ශරීරය මගේ කියලා තිබෙන ඝන සංඥාව දුර්වල වෙනවා, මමායනය දුර්වල වෙනවා. එවිට මනස සැහැල්ලු වීම සිදු වෙනවා. මනස සැහැල්ලු වූ විට සිත නිවීමට ආසන්න වෙනවා.

අපි මේ සංඥා නිවැරදි ලෙස තේරුම් ගත් විට අපේ මානසික සැපය වැඩිවෙනවා. බුදු දහම කියන්නේ දුකට අයිති දෙයක් ලෙස බොහෝ දෙනෙක් සිතනවා. නමුත් එය වැරදි අදහසක්, බුදු දහම තුළ කියැවෙන්නේ යථාර්ථය තේරුම් ගත් මනුෂ්‍යයා මානසික සංතුෂ්ටියට පත් වෙන බවයි. ඒ හා සමානව යථාර්ථය තේරුම් නොගත් පුද්ගලයන් මානසික අසහනයට, කම්පාවට හා ආතතියට පත් වන බවයි. කුඩා කාලයේම හෝ තරුණ වයසේදීම මනුෂ්‍යයෙක් යථාර්ථය තේරුම් ගතහොත් ඔහුට හෝ ඇයට ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් මානසික සංතුෂ්ටියෙන් යුතුව ජීවත් වීමට පුළුවන්කම ලැබෙනවා. වයස්ගත වූ පුද්ගලයකු වුවත් මෙම යථාර්ථය තේරුම් ගත් විට ඔහුගේ හෝ ඇයගේ ඉතිරි ජීවිත කාලය තුළ හෝ මානසික සංතුෂ්ටිය ලබා ගත හැකියි.

ජීවත්වනවා කියන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට මෙම ධාතුමනසිකාර භාවනාව ඉතාම වැදගත් වනවා. මෙම ධාතුමනසිකාරය පිළිබඳව ත්‍රිපිටකයේ ම¿ඡධිම නිකායේ සඳහන් වෙනවා. එම කොටස කියවා බැලීමෙන් ඔබට මේ පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ හුදෙකලාව සිටින සෑම මොහොතක දීම වෙනත් වැඩකට නොමැති දේවල් නොසිතා මෙම ධාතුමනසිකාරය සිහිපත් කරන්න. එය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා නියතයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..