බිත්තර ගිනි ගණන් යද්දී ඊටත් වැඩිය ගුණ ආහාර අපට ලබා ගන්න පුළුවන්ද?

0
65

නිෂ්පාදන වෙළෙඳපොළ උඩු යටිකුරු වී ඇත. ආහාර මිල ඉහළ යන්නේ වේගයෙනි. දැන් බිත්තරය ද වඩාත් උඩින් ඉගිලෙනු පෙනෙයි. B සංකීර්ණයේ විටමින්වලින් සපිරි පෝෂණීය බිත්තරය අද රුපියල් 63ත් 68ත් අතර මිලකට අලෙවි වනු පෙනේ. මින් නොකියා කියැවෙන්නේ දරුවාගේ පෝෂණයත්, ගැබිනි මවගේ කලලයත් දැන් අනතුරේ බවය. දෛනික ප්‍රේා්ටීන අවශ්‍යතාව පූර්ණය කළ මස්, මාළු, කිරි, කරවල වැනි සත්ත්ව ආහාරවල මිල ඉහළ ගියේ බිත්තර මිල ඉහළ දැමීමටත් කලිනි.

ඒ අනුව දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලිය හැකි සහ සාමාන්‍ය පාරිභෝගිකයාට මිලට ගත හැකි සත්ත්ව ආහාරයක් වර්තමාන වෙළෙඳපොළ තුළ නැති තරම්ය. ආහාර ද්‍රව්‍යයන්හි මේ අසාමාන්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 67කට නිසි පෝෂණය නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පසුගියදා ප්‍රකාශ කළේය. එම ප්‍රමාණය මෙරට ජනගහනයෙන් 1/4කි. මේ හේතු කොටගෙන මන්දපෝෂණයෙන් පෙළෙන දරු පරපුරක් ඉදිරියේදී බිහිවීමට ඉඩ ඇති බවට ළමා වෛද්‍ය විශේෂඥවරු අනතුරු අඟවති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පසුගියදා පුදුම සහගත අනාවරණයක් කළේය.

ඒ ළදරු පෝෂණය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගත් තොරතුරු මත පදනම්වය. මේ සඳහා ළමයින් පනස් දෙනකු සහභාගි කරවාගෙන ඇත. ලැබුණු ප්‍රතිඵලය අප ලොමු දැහැගන්වන සුලුය. ඉන් 11 දෙනකු මන්දපෝෂණයෙන්ද, 4 දෙනකු අධි මන්දපෝෂණයෙන්ද පෙළෙන බව හෙළිවීමය.

ඊට බලපා ඇත්තේ පෝෂණ උෟනතාවයි. එසේ වී ඇත්තේ ආහාර වෙළෙඳපොළ මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමයි.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනයේ යෙදුණු 7,000ක් පමණ වූ ගොවිපොළ අතරින් අද ක්‍රියාත්මක වන්නේ අඩක් පමණි. ඒ අනුව එදා ලක්ෂ 70ක් වූ දෛනික බිත්තර නිෂ්පාදනය අද ලක්ෂ 40 තෙක් පහළ බැස තිබේ. ඒ සමඟ නිෂ්පාදන වියදමද ඉහළ ගොසිනි. රුපියල් 48ට පැවැති කුකුළු ආහාර කිලෝග්‍රෑමයක මිල අද 275ක්ව ඇත. ප්‍රවාහන වියදමද ඉහළ ගොසිනි. මෙවන් සෘජු සහ වක්‍ර හේතුන් නිසා බිත්තර මිලද ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පවසයි.

මේ අතර ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හේතු කොටගෙන දරුවන් පාසල් පැමිණීමේ අඩුවක් පවතින බව විදුහල්පති සංගමය කියයි.

ජීවත්වීමට ආහාර ගන්නවා විනා දෛනික පෝෂණ අවශ්‍යතාව පිළිබඳ සිතා ආහාර ගැනීමට සාමාන්‍ය ජනයාට නොහැකිය. එහෙත් අපට කුඩා දරුවන් සහ ගැබිනි මව දෙස එසේ බැලිය නොහැකි වන්නේ අද අහිමිවන නිසි පෝෂණය හේතුකොට ගෙන ඔවුන් හෙට සෞඛ්‍යමය අර්බුද රාශියකට ගොදුරු වීමට ඉඩ ඇති බැවිනි. එනිසා මෙතෙක් අප විසින් අනුගමනය කරන ලද ආහාර රටාවෙන් මඳකට බැහැරව විකල්ප ක්‍රම වෙත ගමන් කළ යුතුව ඇත. ඒ සඳහා පෝෂණවේදිනි චලනි ඉලම්ගම්ගේ මෙතැන් සිට අපට මාර්ගෝපදේශ සපයන්නීය.

මස්, මාළු, කිරි, බිත්තර ආදිය මිලදී ගැනීමට බැරි නම් කළ යුත්තේ ආදේශක ආහාර වෙත යොමුවීමයි. උදාහරණයක් ලෙස ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීමට මෑ කරල්, බෝංචි, සෝයා බෝංචි, මුංඇට, කව්පි, කඩල, අවර වැනි ආහාර වෙත යොමු විය හැකියි. ධාන්‍යමය ආහාරවල මිලද මේ මොහොතේ ඉහළ ගොස් ඇති නිසා මුංඇට, කව්පි, කඩල ආදිය වෑංජන ලෙස සකසා ආහාරයට ගැනීමට පුළුවනි. එයින් මේස හැඳි 3ක් වේලකට ලබාගැනීමට හැකි නම් එය දෛනික, ප්‍රෝටීන අවශ්‍යතාව පූර්ණය කර ගැනීමට යම් තරමක පිටුබලයක් වේවි.

එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා අපට ගමේ හැදෙන කෙසෙල්මුව, මුරුංගා, දෙල්, කොස්, පොළොස්, කොස් ඇට වැනි ඉහළ පෝෂණීය ගුණ සහිත ආහාරවලට මාරු විය හැකියි.

කෙසෙල්මුව යනු කෙඳි බහුල, විටමින් වර්ග කිහිපයකින්ද, ඛනිජ, තන්තු ආදියෙන්ද පොහොසත් ආහාරයකි. මෙවන් ආහාර ගමේ ආහාර ලෙස ලේබල් කරමින් ඊට අඩු තක්සේරුවක් දී ඇත. එනිසා බොහෝ දෙනෙක් ස්වභාවිකව වැඩෙන එවන් ආහාර පසෙකලා පෝෂණ ගුණයෙන් අඩු ආහාර වෙත යෙමුවිය.

පලා මිටියක් දැන් රු. 75ත් 100ත් අතර මිලකට අලෙවි වේ. එහෙත් වෙළෙඳපොළ ඇත්තේ පලාවර්ග කිහිපයකි. නමුත් ඊට වඩා ගුණයෙන් සහ රසයෙන් වැඩි පලා වර්ග බොහෝ ප්‍රමාණයක් අපේ ගෙවත්තේ සහ අවට පරිසරයේ ඇත. ඒ අතර මුරුංගා කොළ, කතුරුමුරුංගා, කොළ හා මල්, වට්ටක්කා දලු, සාරණ, තම්පලා, පැෂන් දලු ආදිය සොයා ගත හැකිය. ඉතා සීමිත ඉඩක ඉතා පහසුවෙන් අපට මේවා වගාකර ගැනීමට හැකිය. මේ පලා වර්ගයකින් මේස හැඳි 3ක් වේලකට එක්කර ගැනීමට හැකි නම් එමඟින් ශරීරයට කැල්සියම්, තන්තු, ක්ෂුද්‍ර පෝෂක, යකඩ වැනි පෝෂක කොටස් එක්කර ගැනීමට හැකියි.

අර්තාපල් වෙනුවට ආදේශක ලෙස ගත හැකි අලවර්ග සියයකට අධික ප්‍රමාණයක් ගමේ ඇත. ඒනිසා හැකි ලෙස ඒවා වගා කරගෙන බෙදාහදා ගෙන ස්වයං ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට ගමන් කිරීමටද හැකිය.

කෙසේ වුවද දෛනික ආහාර වේලට එළවළු වර්ග 2ක් සහ පලා වර්ගයක් එක්කර ගැනීමට හැකි උපරිම උත්සාහය දැරිය යුතුය. ඒ සෑම වර්ගයකින්ම මේස හැඳි 3 බැඟින් ආහාරයට ගන්න. එවිට වත්මන් අර්බුදකාරී තත්ත්වය ඔබේ පෝෂණයට විශාල වශයෙන් බලපෑම් නොකරන්නේය.

ආනයනික පලතුරු මිලද ඉතා ඉහළ අගයක් ගෙන ඇති නිසා නෙල්ලි, වෙරළු, දං, ලොවි, හිඹුටු, මා දං, දිවුල්, බෙලි, කාමරංගා, කජු පුහුලම්, පේර වැනි රසවත් ආහාර වෙත ගමන් කරන්න. මෙවැනි පලතුරු ප්‍රතිඔක්සිකාරක සහිත ඉහළ පෝශණය ගුණාංගයන්ගෙන් ද යුක්තය. එනිසා ප්‍රධාන ආහාර වේලකින් පසු අවම වශයෙන් මෙවැනි කුඩා පලතුරු වර්ග 2ක රස බැලීම දෛනිකව කරන්න.

කිරිපිටි මිල ඉහළ යෑම අපට ඇති තවත් ප්‍රධාන ප්‍රශ්නයකි. ශරීරය වර්ධනයට, අස්ථි ශක්තිමත් වීමට, ළදරු මාංශපේශී වර්ධනයට, කැල්සියම් බහුල කිරි ආහාරයට ගැනීමට අපි පුරුදුව සිටියෙමු. නමුත් අද ඒ සඳහා අධික මිලක් වැයවන නිසා බොහෝ දෙනකු කිරි භාවිතය අත්හැර ඇත. එහෙත් ඒ වෙනුවෙන් ඇති ආදේශක කරා යොමු විය හැකි නම් එය වඩා යෝග්‍ය වේ. මේ සඳහා වෙළෙඳපොළෙහි ඇති හොඳම ආදේශකය එළ කිරිය. ඊට අමතරව මුංඇට, කව්පි, කඩල වැනි පියලි ඇට වර්ග එක්කොට සාදාගත් පිටිවර්ගද අලෙවියට ඇත. එවැන්නක් ඔබට නිවෙසේදී ද සාදාගත හැකිය. ඊට අමතරව ධාන්‍යමය කැඳ වර්ග ද භාවිතයට යෝග්‍ය වේ. කල්තබා ගන්නා රසායනිකයන්ගෙන්ද දිව පිනවන රසකාරකයන්ගෙන්ද යුත් පිටිකිරි වීදුරුවට ආදේශකයක් ඔබට නිවෙසේදීම සාදාගත හැකි නම් එය වඩා වටින්නේය.

අපට වැරැදුණු තැන් හදා ගැනීමට දැන් කාලය උදාවී ඇත. එනිසා වර්තමාන අර්බුදය ජීවිතයට පාඩමක් කරගෙන අපේම ක්‍රමයක් වෙත ගමන් කිරීමට මේ හොඳම කාලයයි.

තනුජා සූරියබණ්ඩාර