දෙවරක් නොසිතා අනෙකාට උදවු කරන්න

0
66

නෙළුම් මල පිපෙන්නේ හිරු නැඟෙන විටය. එසේම බැබළෙන හිරු එළියෙන් නෙලුම් පොහොට්ටුව ලස්සන මලක් බවට පත්වෙයි. නමුත් මල හිරුට බැබළෙන්න යැයි කිසිවිටෙකත් ඉල්ලීම් කරන්නේ නැත. තවද සූර්යයා නිසා සාගරයේ ජලය වාෂ්ප වී වලාකුළු අපට වර්ෂාව ලබා දෙයි. අපි සූර්යාගෙන් සහ වලාකුළුවලින් උදවු ඉල්ලන්නේ නැති වුවත් ඔවුහු අපේ සුබ සාධනය වෙනුවෙන් කැපවී කටයුතු කරති.

මේ අයුරින්ම අවශ්‍යතා ඇති අය පිහිට පතා මිනිසුන්ට කන්නලව් කළ යුතු නැත. යහපත් ගුණ ඇති තැනැත්තා විපතට පත් අයට නිරායාසයෙන්ම පිහිට වන බව වෙන්කටේශ්වර ශාස්ත්‍රිගල මහතා පවසා ඇත. මිනිසකුට බොහෝ ආකාරවලින් වාසනාවන්ත විය හැකිය. නමුත් අන් අයට උපස්ථාන කිරීමට අවස්ථාව ලැබීම තරම් වාසනාවන්ත දෙයක් තවත් නැත.

සෑම ආගමකින්ම එක ලෙස උගන්වා ඇති දෙය වන්නේ අන් අයට උදවු කළ යුත්තේ කෙසේද යන්නයි. අන් ආගම්වලට නොදෙවෙනි ලෙස හින්දු ආගමෙහිද මේ පිළිබඳ දන්වා ඇති අතර කුමන ආගමකින් කෙසේ ඉගැන්වුවත් ඒවා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නොනැංවීම මෙහි තිබෙන ප්‍රධාන ගැටලුවයි.

අපි බොහෝ දුෂ්කරතා විඳිමු. අපට බොහෝ කරදර තිබේ. නමුත් සියලු දුෂ්කරතා මධ්‍යයේ අන් අයට උදවු කිරීමට අප දෙවරක් නොසිතිය යුතුය. අනෙකාට උදවු කරන්නේ කෙසේද යන්න නිවැරදි අවබෝධයක් ලබාගත යුතු බව භගවත් ගීතා වෙහි සඳහන් කර ඇති අතර හින්දු භක්තිකයන් තුළ සුප්‍රසිද්ධ කියමනක් වන්නේ “ඔබේ අසල්වැසියාගේ දරුවාට කිරි දෙන්න. එයින් ඔබේ දරුවා පෝෂණය වේ” යන්නයි. තවද දුෂ්කරතා ඇති මිනිසුන්ට අප උදවු කළ යුත්තේ ලාභයක් පිළිබඳව සලකා බැලීමකින් නොවේ. හින්දු ආගමෙහි දක්වා ඇති පරිදි අන් අයට උදවු උපකාර කිරීම මනුෂ්‍ය වර්ගයාටද පමණක් සීමා නොවිය යුතුයි. එය සත්ත්ව වර්ගයාටද අදාළ විය යුතුය. අතීතයේ හින්දු භක්තිකයන් ගවයන් සඳහා පමණක් දිය බීමට පොකුණු සාදා ඇති අතර සෑම දිනකම එක් අයකු විසින් එක් එළදෙනකු තණකොළ මිටියකින් පෝෂණය කළ යුතුයි.

තවද හින්දුන් විසින් පුද පූජා පැවැත්වීම මවුපියවරුන් හට පින්කම් කිරීම වැනි ක්‍රියා අන් අයට සේවය කිරීමේ කොටසක් ලෙස දක්වා ඇත. වර්තමානයේත් ඇතැම් හින්දු භක්තිකයන් විසින් සමාන අදහස් ඇති, අවංක, පරිත්‍යාගශීලී ගතිගුණවලින් යුතු පිරිස් කාණ්ඩ ලෙස සෑදී සමාජයට සේවය කරති.

ක්‍රිෂ්ණා කොපමණ සෙල්ලක්කාර වුවත් ඔහුගේ සෙල්ලක්කාරකම බාහිරට පමණක් සීමා වූ අතර සෑම විටම අන් අයට උපකාර කිරීම සඳහා ක්‍රිෂ්ණා සූදානමින් සිටියේය. ඉතා සූක්‍ෂ්ම ලෙස මිනිසුන් කරදරවලින් ගලවා ගත් ක්‍රිෂ්ණා ගෝකුල වැසියන් බේරා ගැනීමට නිතර වීර ක්‍රියා කළේය.

ක්‍රිෂ්ණා මෙන් කිසිවකු සෙල්ලක්කාර නොවූවත් ඔහු මනුෂ්‍ය වර්ගයාට නිතරම සේවය කළේය. ඔහු සිදු කළේ ලෞකික සේවයක් පමණක් නොවේ. ආධ්‍යාත්මික ඥානය ලබා දෙමින්ද මනුෂ්‍ය වර්ගයාට සේවය කළේය. අර්ජුනගේ සහ උද්ධවගේ ප්‍රධානියා ලෙස ඔහු උතුම් සත්‍යයන් ඉගැන්වූයේය. ඔහු මේ සියලු කර්තව්‍යයන් ඉටු කළේ සිනහාමුසු මුහුණකින් සහ ශාන්ත බව පතුරවමිනි.

එක් අවස්ථාවක ගව පාලකයන් ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රිෂ්ණා ගෝවර්ධන නම් විශාල කන්දක් ඔසවා තැබුවේය. ඉන්පසු ඔහු කුඩා දරුවකු බවට පත්ව යමුනාට විස පැතිර වූ කාලිංගගේ (කාලිය) හිස මත නර්තනයේ යෙදුණේය. මේ සියල්ලහිම සෙල්ලක්කාර බවක් පෙනුණත් ඒවා ඔහු ගෝකුල වැසියන් බේරා ගැනීමට කළ වීර ක්‍රියාය.

ශිවගේ දස අවතාර අතරින් මනුෂ්‍යත්වයට සේවය කළ ශේ‍ර්ෂ්ඨතම අවතාරය වූයේ ක්‍රිෂ්ණාගේ අවතාරයයි. රාමාගේ අවතාරය ආංජනේය පුද්ගලාරෝපිත සේවා සිදු කළ අවතාරයක් ලෙස පෙන්වා දිය හැකියි. අපි අන් අය වෙනුවෙන් උදවු උපකාර කරන විට ක්‍රිෂ්ණා සහ හනුමාන් ආදර්ශයට ගත යුතු බව හින්දු දහමේ පෙන්වා ඇත. අපිද ඔවුන් මෙන් පරාර්ථකාමී විය යුතු අතර ප්‍රසිද්ධියෙන් වැළකී සිටිය යුතුය. අන් අයට උපකාර කිරීමට කෙනකු පොහොසත් විය යුතු නැත. ඒ සඳහා ආකල්පමය හෝ මානසික වශයෙන් උත්සාහයන් සිදු කළ හැකියි. අධ්‍යාත්මික වශයෙන් කරුණාව සහ සන්නිවේදනය ඊට අත්‍යවශ්‍ය වේ. මනුෂ්‍යත්වය කෙරෙහි සංවේදී වීමට නම් තමා ගැන තම පවුල ගැන නිතර සිතනවාට වඩා අන් අය ගැන නිතර සිතිය යුතු අතර සංවේදනාවන්  දැනිය යුතුය. ඔබ මිනිස් හැසිරීමේ කෙරෙහි අවධානයෙන් සිටී නම් මිනිසුන් සිතන ආකාරය, ක්‍රියා කරන ආකාරය ඔවුන් සමාජ ගැටලු දෙස බලන ආකාරය, අනුව ඒවා ඔවුන් දුක් විඳීමට බෙහෙවින් බලපාන කරුණු බව ඔබට දැනෙනු ඇත.

වර්තමානයේ පුද්ගලයන් තමන් කෙරෙහිම ආත්මාර්ථකාමී වී අන් මිනිසුන්ගේ යහ පැවැත්ම කෙරෙහි විශ්වාසයක් නොමැතිව තම ප්‍රශ්න සහ දුක් වේදනාවලට ගොදුරුව ඇති බව පෙනේ. නමුත් හින්දු දහමේ හරය වන්නේ ආත්මාර්ථකාමී බවකින් තොරව දයාවෙන් කටයුතු කිරීමයි.

අන් අයට උදවු උපකාර කිරීම සෑම විටම මුදල්වලට සීමා කිරීමට වග බලා ගත යුතුය. ස්වේච්ඡාවෙන් වැඩිහිටි නිවාසවලට සහ අනාථ නිවාසවලට සේවය කිරීමට ඉදිරිපත් වීම, අනතුරුවලට පත්වුණු සතුන් රැකබලා ගැනීම, දුප්පත් දරුවන් හට කියවීමට සහ ලිවීමට උදවු කිරීම, මානසික සහාය අවශ්‍ය අයට උදවු කිරීම, සහ උපදෙස් දීම වැනි විධාකාරවලින් අන් අයට පිහිට වීම කාලීන වශයෙන්ද වැදගත් වේ. අද අපි රටක් ලෙස මුහුණ පා තිබෙන ගැටලුවලට විසඳුමක් ලෙස ආගම් තුළින් ලබා දෙන හරයන් අපට ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවිය හැකිය. ආර්ථික වශයෙන් ශක්තිමත් වනවා සේම ආගම් තුළින්ද ලබාගත හැකි යහපත් දේවල් ජීවිතයට එක්කර ගැනීම අපගේ ඉදිරි ජීවිතයට මහත් පිටිවහලක් වේ. ඒ සඳහා එක් පසකින් හින්දු දහමද මනා ලෙස උපකාරී වෙන බව ඉහත කරුණු අනුව පැහැදිලි වේ.

සචිනි බස්නායක