ඩලස් නිසා උදහසට ලක් වූ මන්ත්‍රිවරු

0
62

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමෙන් පසු මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රිවරු පත්කිරීමේදී රජයේ වංචනික හා අනීතික කටයුතු හෙළිදරව් කිරීමට.

 කොන්දේසි විරහිතව පෙනී සිටි මහජන නියෝජිතවරු පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමන්ට සහය දීම හේතුවෙන් ආණ්ඩුවේ උදහසට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම චෝදනා කරයි.

දූෂණයන්ට එරෙහිව අනන්‍ය පිළිවෙතක සිටිමින් මහජන ගෞරවය ඉහළින් දිනූ දක්ෂ හා උගත් මහජන නියෝජිතයන් තමන්ට සහාය දීම හේතුවෙන් අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයට ගොදුරු කිරීම පිළිබඳ කනගාටුව හා විරෝධය ද පිළිකුලද සටහන් කරන බව දන්වමින් අලහප්පෙරුම මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යවා ඇත.

විශේෂයෙන් ජූලි 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ගේ නම ස්ථිර කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා, මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත් සහ මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි ජනතා නියෝජිතයන් කපා හරින්නට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එම ලියුම යවමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා චෝදනා කර ඇත.

රට ගොඩනැඟීමට සියලු භේද පසෙකලා සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා සහ සමීපතමයන්ද දඩයම් කිරීමෙන් නැවත නැවතත් පිළිබිඹු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වන දැනට වියපත්ව ගිලන්ව සිටින ශ්‍රී ලාංකේය කෛරාටික දේශපාලනයෙන් නෂ්ටාවශේෂ නොවේදැයි ඔහු විමසා තිබේ.

ඒ අනුව මීට දින 21කට පෙර  ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අලුත් අරුත් සුන් හිස් ප්‍රලාපයක් පමණක් බවත් ලිච්ඡවි ප්‍රතිපත්ති පිළිබඳව උස් හ¾ඩින් කතා කරමින් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයෙන් නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ජරාතන්ත්‍රවාදය ආදේශ කිරීමකැයි යන්න  පිළිගන්නැයිද එම ලියුම මඟින් ඉල්ලා ඇත. පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අදටත් පෙනෙන බොහෝ දෙනාගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හ¾දුනා ගැනීමට හැකිවීම සතුටට කරුණකැයිද, තම කණ්ඩායමට දිරිය සවිය හා ආරක්ෂාව සපයන බලයක් වනවා ඒකාන්ත බවද සඳහන් කරන මන්ත්‍රිවරයා, කුමන කෙනෙහෙලිකම් මැද වුවද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට තම කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බවද දන්වා ඇත.

එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, කථානායකවරයා, සභානායකවරයා,  ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා, විපක්ෂ නායකවරයා, අන්තර් පාර්ලිමේන්තු සංවිධාන සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය වෙතද යවා තිබේ.

විනීතා එම්. ගමගේ