‘කැමා’ ඇඳුමෙන් වසාගෙන සිටි මනුෂ්‍යත්වයේ සුවඳ කොබ්බෑකඩුව

0
186

ඔහු මනුෂ්‍යත්වයේ ජෙනරාල්ය. අදීනත්වයේ ජෙනරාල්ය. නිර්භීත බවේ ජෙනරාල්ය. සුහදත්වයේ ජෙනරාල්ය. ජෙනුවින්ය. ඩෙන්සිල්ය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් යුද සෙන්පති භූමිකාවෙන් ඔබ්බෙහි අපූර්ව වූත් අරුත්සරු රස පූර්ණවූත් දිවිසර කියවා ගන්නට මේ සුදුසුම මොහොතකි.

අගෝස්තුවේ 08 වැනිදාට කොබ්බෑකඩුව දිවි සැරිය නිමවී තිස් වසරක් ගෙවී අවසන්ය.

ලංකාවේ අස්සක් මුල්ලක් නෑර  කීර්තිනාමය පැතිර යමින් තිබූ එදවස ජෙනරාල් නමට  දිනකට ලිපි 200ක පමණ ප්‍රමාණයක් ලැබුණු අතර එතුමා අගය කර ලියා එව් ලිපි  අතර කවි, නිසඳැස්ද  ලියැවී තිබිණි. එසේම සමාජයේ සෑම තරාතිරමකම අකුරු ඒ අතර තිබිණි. කෙතරම් වැඩ රාජකාරි තිබුණත් මැදියම් රැයේ හෝ ඒ සියල්ල  එතුමා එකින් එක කියවා ඇත්තේ ඉතාම  කැමැත්තෙනි. ඒ ඔහු හොඳ රසකාමියෙක් වූ නිසා වන්නට ඇත. මිනිසුන්ගෙන් ලැබුණ. “අකුරු ආදරය.” ඉමහත් ශක්තියක් වන්නට ඇති බවද නිසැකය.

1990 – 1992  කාලය වනවිට හමුදාව සතුව සිටියේ සාමාජිකයන්  30,000ක් වැනි බොහොම අඩු පිරිසකි. ඒ පිරිසෙන්ද  යුද්ධයට සම්බන්ධ වූවේ තවත් අඩු පිරිසකි.

මේ හේතුවෙන් එක් ප්‍රදේශයකින් තවත්  ප්‍රදේශයකට අවශ්‍ය පරිදි හමුදා බළඇණි යොදවමින් හමුදා සාමාජිකයන්ගෙන්  උපරිම ශ්‍රම දායකත්වය ලබා ගෙන ක්‍රියාන්විත කරන්නට තරම් එතුමා පිරිස් කළමනාකරණයෙහි දක්ෂ විය. එසේම  අඩු පහසුකම් යටතේ රාජකාරි කිරීමට සිදු වූ පසුබිමක ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, පොලිසියේ සහාය එතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා ලබා ගත්තේය. එම කඳවුරුවලට ගොස් ප්‍රධානීන් සමඟ පෞද්ගලිකවම ඒවා ගැන සාකච්ඡා කර අවශ්‍ය පරිදි සම්පත් කළමනාකරණය කර ගත්තේය.

එතුමා තමන්ට යම් ක්ෂේත්‍රයක දැනුමෙහි අඩුවක් තිබුණොත්  එය දැනුම ඇති වෙනත්  කෙනෙක්ගෙන් පුරවා ගෙන ඕනම වැඩක් ලස්සනට කරන්නත් ඒ අදාළ අයට සුදුසු තැන ලබා දෙන්නත් දක්ෂ වූ නිලධාරියෙකි. ජෙනරාල්  විමලරත්න වැනි පාබළ හමුදා පිළිබඳ මනා දැනුමක් තිබුණ නිලධාරින් සමඟ ඒ ආකාරයෙන් කටයුතු කරන්නට යෙදුණේය.

එතුමා සෑම ජාතියකටම ආගමකටම  එක සේ ගරු කළ පුද්ගලයෙකි. උතුරු නැඟෙනහිර හැම ආගමික සිද්ධස්ථානයක් ගැනම සොයා බැලුවේය. පූජකවරුන් සමඟ හොඳ සම්බන්ධතාවක් තිබිණි.

උතුරු නැඟෙනහිර දී තමා සමඟ යාළු මිතුරු වූ සෑම දෙනාවම ඔහු සෙසු නිලධාරීන්ටත්  හ¾දුන්වා දුන්නේය. ඔවුන්ගේ උත්සව, ප්‍රිය සම්භාෂණවලට  සහභාගි වීම, සුහද හමුවීම්වලට අවස්ථා සලසා දුන්නේය. මේ හේතුවෙන්  ඔවුන් හා හමුදා නිලධාරීන් අතර සබඳතා ශක්තිමත් විණි. විශ්වාසය, අනේ‍යාන්‍ය අවබෝධය ඇති විණි.

එතුමා සෑම මනුස්සයෙක් දෙසම එක සේ බැලීමට නිලධාරීන් හුරුපුරුදු කළේ එලෙසටය.

අද වන විට ඉහළ නිලතලවලට පත් වී සිටින යුද හමුදා නිලධාරින් එතුමා ඇසුරේ ලැබූ ඒ අත්දැකීම් ඔස්සේ එතුමාගේ ඒ දූරදර්ශී  අරමුණ ඉටු කරමින් සිටිති.

වදන්  අරුතින් මනුෂ්‍යත්වය කුමක්ද යුද්ධය යනු කුමක්ද ඊට හේතුව, එය නැති කිරීමේ මඟ, ඉතාම උපක්‍රමශීලීව නිලධාරීන් සහ සොල්දාදුවන් හට වැටහෙන්න සැලැස්සූ අපූරු ක්‍රමවේද එතුමා සතු විය.

සිවිල් වැසියන් ඇතැමෙක් ජෙනරාල් ගැන තැබූ ගරුත්වයට, විශ්වාසයට රහසිගතව තොරතුරු ලබා දෙන්නට පවා  ඉදිරිපත් විය.

එතුමාට සිවිල් වැසියන් සමඟ ඉතාම ළඟ අව්‍යාජ  බැඳීමක් තිබිණි.

ඉතා පහසුවෙන් සහ අඩු වෙලාවකින් සතුරාට පහර දිය හැකි කෙටි මාර්ග අතහැරියේ සිවිල් වැසියන්ට විය හැකි හානි ගැන වඩාත් සැලකිලිමත් වූ නිසාය. දුර සහ වට මාර්ග භාවිතයට ගත්තේ මෙහෙයුම් තුළදී සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල වගකීම ගැන අප්‍රමාණව සිතට ගත් බැවිනි.

ජෙනරාල් යම් මෙහෙයුමක් අවසානයේ කිසිදා නිවාඩු ලබා ගෙන කෙළින්ම නිවෙසට ගියේ නැත. ඒ වෙනුවට ගියේ තුවාල ලබා සිටින නිලධාරීන්ගේ, සොල්දාදුවන්ගේ සුව දුක් විමසීමටය. පලාලි  හෝ අනුරාධපුර රෝහල් වෙත ගොස් ඔවුන් ගැන සොයා බලා වෛද්‍යවරු සමඟ  කතා කර අවශ්‍ය ප්‍රතිකාර බෙහෙත් හේත් ගැනද  සැලකිලිමත් වූ එතුමා ඉන්  අනතුරුව  කොළඹට ආවත් කෙළින්ම ගියේ ජාතික රෝහලට මාරු කර එවූ අසාධ්‍ය තුවාලකරුවන් බලන්නටය. එතුමා නිවහන වෙත ගියේ බෙහෙත් වර්ග හිඟයක් තිබිණි  නම්  පිටරට ඉන්න හිතවතුන්ට කතා කර ඒවා ගෙන්වා ගැනීමටත් කටයුතු කර අවසානයේය. එතුමා මවුබිම වෙනුවෙන් සිදු කළ අසීමිත කැප කිරීම ගැන කීමට මීටත් වඩා කරුණු අවශ්‍යද?

මේ 1990  වසරේ බලවේගය 1 මෙහෙයුමේ දී නිලධාරියෙක් සතු අත්දැකීමකි.

කොටි ත්‍රස්තවාදීන් වෙත්තලකෙනි, අලිමංකඩ කඳවුර වට කරලා පහර දුන් අවස්ථාවක්.

නැවෙන් ඇවිත් වෙත්තලකෙනි බැහැලා අලිමංකඩට කැලේ මැදින් සේනාංක ආ යුතුයි.

කෑම ගෙනාවෙ නැවෙන් නිසා ඇතුළට කෑම එන්න විදිහක් නොතිබිණි. හෙලිකොප්ටරයකටවත් ආ හැකි තත්ත්වයක් නොතිබූ අතර අලිමංකඩට වතුරවත් නොතිබිණි.

මේ නිසා සොල්දාදුවො කිහිප දෙනෙක් උණ  රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතර ජෙනරාල් ඒ අය ගාවට ඇවිත් අමාරුවෙන් හිටිය එක් අයෙක්ගෙන්, “පුතා කොහොමද දැන් රෑ කෑම එහෙම කෑවද?.”

ඇසූ අතර එම සොල්දාදුවා. “සර් මට අමාරුයි

දවස් හතරක් පහක් මම කාලත් නෑ කන්නත් බෑ.” යැයි පැවසුවේය.

ජෙනරාල් එය අසා ජීප් එක ළඟට ගොස් ජීප් රථයෙන් නෙස්ටමෝල්ට් ටින් එකක් ගෙනත් දී. “මෙයාට ඉස්සෙල්ලම තේ එකක් හදලා දීලා ඉන්න.” යැයි පවසා නැවත මෙහෙයුමට ගියේය මෙලෙස නිතරම සිය වාහනේ  පවා  කෑම බීම තියාගෙන සොල්දාදුවන්ට ලබා දීමට තරම් පරිත්‍යාගශීලී හදවතක් එතුමා සතු විය.

තුවාල ලැබූ සොල්දාදුවෙක් ගුවනින් කොළඹ රැගෙන එන අතරමඟ සිදුවූ තවත්  සිද්ධියකි.

ගුවන් යානය තුළ පැවතියේ අධික සීතලකි. ඒ සීතල  සොල්දාදුවාට නොදැනෙන්නට ජෙනරාල්  ඇඳ සිටි ජැකට්ටුව ගලවා එයින් සොල්දාදුවා පොරවා ඇත. අම්පාර කන්දිකුඩිච්චාල් හි 1990 වසරේ දිනක මාධ්‍ය කණ්ඩායම් පැමිණ ජෙනරාල් වටකරගෙන පින්තූර ගන්නා විටෙක ඔහු එතැන සිටි නිලධාරියෙක් පෙන්වා පැවසුවේ “අපිව අරගෙන වැඩක් නෑ. වැඩ කරන මේ වගේ යන්ග් ඔෆිසර්ස්ලව ෆොටෝ  ගන්න. අරගෙන පත්තරේ දාන්න” කියලා. එතුමා ඒ තරම්ම නිහතමානීව සෙසු නිලයන්ට ගරු කළේය.

1991/12/18 ගජබා රෙජිමේන්තුවේ පැවති අන්තර් ඒකක දැල්පන්දු තරගාවලිය දින සහ පුහුණුවීම්  අතරතුර  එහි පැමිණි  ජෙනරාල්  එදා ශූරතාව දිනා ගත් ගජබා කණ්ඩායම් සාමාජිකයන් හමු විය. “මොනවද වෙන්න ඕනෙ. කෑම ගත්තද? තේ බිව්වද? කූල් වතුර බොන්න එපා.” 

ඔහු සිය ආදරය දැක්වූයේ එසේය. එදා එතැන  කණ්ඩායමේ නිලධාරියෙක්ට එය අදටත් සුන්දර  මතකයකි.

ඔහුට අනුව එහි විශේෂම කරුණ නම් ලංකාවටම ජෙනරාල් තනතුරු දැරුවන් 4-5  දෙනෙක් පමණක් සිටි එවැනි කලෙක ජෙනරාල් කෙනෙක් එසේ ඔවුන් වෙනුවෙන් පැමිණ කතා බහ කිරීමයි.

තරුණ නිලධාරීන්ට ඉතාම ළං වී කටයුතු කළ  එතුමා ඕනෑම තරාතිරමක අයෙක් සමඟ මිත්‍රශීලී විය. ඊට ඔහුගේ මෘදු වදන්, කතා විලාසයෙහි ආකර්ෂණය හේතු විය.

බොහෝ නිලධාරින් පවසනා පරිදි ඔවුන්ගේ සේවා කාලය තුළ දී එතුමා වැනි පොඩි මිනිහාගේ සිට සොයා බැලූ කාරුණික ගති පැවතුම් තිබූ වෙනත් මිනිසෙක් මුණගැසී නැත.

ජෙනරාල්ගේ පියාගේ අභාවය සම්බන්ධ සිය පෞද්ගලික අත්දැකීමක් ගැන එක් නිලධාරියෙක් පැවසුවේ, කොළඹ පැවති එම අවමංගල උත්සවයට සහ හත් දවසේ පින්කමටද සහභාගි වී අවසන ඔහුට රාජකාරි කටයුතු සඳහා  අනුරාධපුර යෑමට සිදු වූ අතර පසුදාට ඔහුගේ උපන් දිනය යෙදී තිබුණු බවය. එදින ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ සිද්ධියක් සිදු විය. උදෑසන රැස්වීමට පැමිණි ජෙනරාල් මුලින්ම කළේ ඔහුට සුබ පතා උපන් දින සුබපැතුම් පතක් සමඟ ත්‍යාගයක්ද දීමයි. ජෙනරාල්ගේ උණුසුම් හදවත එසේය. අදටත් එම නිලධාරියා  සතුව ඒ අපූරු සිහිවටනය  තිබේ.

සටන් පවතින කාලයක දී සිය සොහොයුරියගේ විවාහ මංගල්‍ය පහුවදාට යෙදී තිබෙන බවත් තමාට ඊට කෙසේ හෝ සහභාගි වීමට අවශ්‍ය බවත් ජෙනරාල් වෙත පැවසූ නිලධාරියෙක් රාජකාරි ඇ¾දුමෙන්ම එවෙලේම සිය වාහනයට නංවා ගෙන අනුරාධපුර දක්වා ගෙන ගොස් එතැන් සිට නිවෙසට යෑමටත් පහසුකම් සලස්වන්න තරම් එතුමා නිලධාරියා තේරුම් ගෙන කටයුතු

කළේය.

තමාගේ ඕනෑම ගැටලුවකට එතුමා ළඟ විස¾දුමක් තිබූ බවට නිලධාරියාගේ සිට සෙබළා දක්වා මහත් විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. එතුමා සන්නාහ සන්නද්ධ බළකායේ සිටියද පාබළ හමුදාවල අය එතුමාට බොහෝ ආදරය කළ අතර හමුදා කඳවුරකට පැමිණෙන බව දැන ගත් දාට ඔවුන් එතුමා පිළිගන්න, දැක බලාගන්න මඟ බලා සිටියේ හදවතින්ම නැඟුණු ආදරණීය හැඟීමකිනි.

එතුමා එකල තිබූ අවම පහසුකම් යටතේ වුවත් පෞද්ගලිකව මැදිහත්ව අවශ්‍ය පරිදි  දේවල් ඉටු කර ගැනීමට දක්ෂ වූ නායකයෙක් බවට බොහෝ තොරතුරු හමු වෙයි. එක් නිලධාරියෙක් ලද අත්දැකීමකට අනුව  පැවසුවේ,  වරක් රාජකාරි වාහනයක් නොමැති වීම හේතුවෙන් එතුමා සිය පෞද්ගලික වාහනයෙන් කොබ්බෑකඩුව මහත්මිය සමඟ අනුරාධපුරයට පැමිණි අතර එතැනින් රාජකාරි  වාහනයකට නංවා ගත් බවයි.

එසේම සිය හැ¾දුනුම්කම්, යාළුකම් ඔස්සේ හමුදාවේ අඩුපාඩු පිරිමැසීමට කටයුතු කළ එතුමාට විශේෂයෙන් පිටරටවල සිටි හිතවතුන් ඒ සඳහා බොහෝ  උදවු ලබා දී ඇත. යුද්ධය දරුණු ලෙස පවතින කාලයන්හිදී ලංකාවේ  මෙන්ම පිටරට  වෛද්‍යවරුන් මෙරටට පැමිණ  එතුමාට දක්වන සැලකීමක් ලෙස ස්වේච්ඡාවෙන්ම සිය සේවය ලබා දී තිබේ.

හොඳ ඉවක් සහ උපක්‍රමශීලී හැකියාවන්ගෙන් පිරිපුන් එතුමා යුද බිමේ සෑම අංශයක් කෙරෙහිම එම හැකියාව යොදා ගත් නිලධාරියෙකි. රාජකාරි ගමනකට ගුවන් යානයකට නැඟුණත් එතුමා ඒ කාලය  සහ අවස්ථාව යොදා ගත්තෙත් රාජකාරිය පිණිසමය. ඒ යන ගමන් මඟදීත් තොරතුරු සොයා ගත හැකි ආකාරයට නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි ගුවන් නියමුවා හසුරුවා ගනිමින්  ගමනාන්තයට යෑමට තරම් අපූරු කාල කළමනාකරණ හැකියාවක්ද එතුමා සතු විය.

එසේම සතුරා යම්  කඳවුරට පහර දෙන්නට ඇවිත් හැරී ගියේ  නම් දැන් ඊළඟට පහර දෙන්න එන්නේ  කුමන කඳවුරටද වැනි කරුණු ගැන නිසැක අනුමාන කිරීමේ අපූරු හැකියාවක් එතුමා සතු වුණේ සිය දැනුම සහ පළපුරුද්ද මතය.

දිනක් සිය රියදුරු සහ තවත් නිලධාරීන් පිරිසක් සමඟ රාජකාරි කටයුත්තකට කොළඹ සිට එමින් සිටියදී හැකි ඉක්මනින් ගමනාන්තයට යෑමේ අවශ්‍යතාව නිසා රියදුරු අසුන එතුමා භාර ගෙන දක්ෂ ලෙස අවශ්‍ය වෙලාවට තැනට පිරිස රැගෙන  ගිය අයුරු ඉහළ පෙළ නිලධාරියෙක් සතු අභියෝග, තීරණ ගැනීමේ හැකියාව සහ කාර්යක්‍ෂම බව ප්‍රකට කළ තවත්  අවස්ථාවකි.

ජෙනරාල් රගර් ක්‍රීඩාව සඳහා ලයන්  සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්ද හොකී, ක්‍රිකට් ක්‍රීඩා වර්ණලාභී දක්ෂයෙක් බවද  ප්‍රකට කරුණක් වුවද  ක්‍රියාශීලී දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් බව දන්නේ  ටික දෙනෙකි. අනුරාධපුර  ටෙනිස් පිටියේ  විවේකයක් ලද විට  එතුමා එම  ක්‍රීඩාවේ ද නිරත විය. යුද හමුදා විද්‍යාපීඨයේ දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ දෙවැනි ප්‍රධානි  නිලධාරියා ලෙස කටයුතු කළ එතුමා දක්ෂ  ක්‍රීඩා උපදේශකයෙකි. ඔහු අලුතින් එන නිලධාරින්ට නායකත්වය යනු කුමක්දැයි ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවේය.

එවකට හමුදා  රගර්  කණ්ඩායමට පුහුණුවීම් කටයුතු කළ හොඳ ගුරුවරයෙකි. පරිපූර්ණ හමුදා නිලධාරියෙක් වශයෙන් තමන්ට පහළ නිලධාරීන්  ඉහළ තත්ත්වයට ගන්න විශාල කැපවීමක් කළේය. තරුණ නිලධාරීන්ට කිසිවිටෙක නිකරුණේ කාලය ගත කරන්න ඉඩ නොදුන් එතුමා සති අන්තයේ පවා ඔවුන්ට වැඩ පැවරුවේය.

කොහේ හෝ භූමියකට පිටත් කර ඒ පිළිබඳ අධ්‍යයනය කර තේරුම් ගෙන එන ලෙස පවසමින්  පොඩි අතුරු  මාර්ග, අඩි පාරවල්වලින් පටන් මුළු යාපනයේම අඟලක් නෑර ඔවුන්ව ඇවිද්දෙව්වේය.

සිතියම්වල නැති තැන් සලකුණු කර ගෙන එන ලෙසටත් තොරතුරු යාවත්කාලීන කරන ලෙසටත් යොමු කළේය.

ඇතැම් විට නිකරුණේ් කාලය ගෙවන නිලධාරියෙක් දුටුවොත් කිලෝමීටරයක් තරමේ ප්‍රදේශයක් පෙන්වා  ඒ ටික අධ්‍යයනය කර එන  ලෙස පවසා පිටත් කළේය. භූමිය පිළිබඳ ගැඹුරුම අධ්‍යයනයකට නිලධාරින් යොමු කළේ එසේය.

එදා එය වධයක් ලෙස දුටු නිලධාරීන් අද ඒ ගැන කතා කරන්නේ තමන්ගේ ජීවිතවලට ඉන් ලැබුණ පන්නරය ගැන සතුටින් එතුමාට  ස්තුතිවන්ත වෙමිනි.

නිලධාරීන්ට, සොල්දාදුවන්ට අවස්ථානුකූලව  තදින් ක්‍රියා කළ ජෙනරාල් අනිත් අතට ඉක්මනින්  නිවෙන සුලු විය.

ගිනි අවි, පතරොම් හදලා තිබෙන විදිහ. එහි  බලපෑම කෙසේද, පතරොම හදලා තියෙන්නේ කොහෙද, පතරොම් නිකුත් වන විධිය, පතරොම් වේගය අඩු වැඩි වෙන්නේ කොහොමද වැනි තාක්‍ෂණික දැනුම, අවි ආයුධ පිළිබඳ දැනුම, ගිනි අවියක්  තේරුම් අරගෙන වෙඩිල්ලක් තියන්නෙ කොහොමද වගේ දේවල් ගැන ගැඹුරු දැනීමක් ලබා දීම මඟින් නිලධාරීන් තුළ මනා ආත්ම විශ්වාසයක් ඇති කරන්නට  කටයුතු කළේය.

මෙලෙස එතුමා සතු වූ විෂය පථ දැනුම පුදුමාකාර එකක්  විය.

ඒ මඟ සෙසු නිලධාරීන්ද  ගෙන යෑම පිණිස  ඔවුන්වද දැනුම සොයා යෑමට, පොත පත කියවීමට උනන්දු කළේය.

මේ සියල්ල මඟින් නිලධාරින්ගේ පෞරුෂ වර්ධනය ඇති කිරීමට කටයුතු කළේය.

එතුමා හමුදාවට බැ¾දුණේ පාසල් වියේදීමය.

දියතලාව හමුදා මූලස්ථානයේ පුහුණුවෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනයට සහ පුහුණුවට  එංගලන්තයට ගොස් නැවත මවුබිමට පැමිණ සන්නාහ සන්නද්ධ බළකායට සම්බන්ධ විය.

පවුලට බොහෝ ළැදිව කටයුතු කළ  ආදරණීය මිනිසෙකි. ප්‍රේමයක් නිසාවෙන්  1970  දී විවාහ දිවියට එළැඹෙන එතුමා බිරියට  සෙනෙහෙබර සැමියෙකි. ඔවුන්ට දරුවෝ තිදෙනෙකි. ඒ දියණියන් දෙදෙනෙක් සහ  පුතෙකි. දරුවන්ට බොහෝ සෙයින් ආදරය කළ  එතුමා සිය රාජකාරී දිවිය හේතුවෙන් නිවෙසින්  බොහෝ දුර බැහැර ප්‍රදේශවල  ජීවිතයේ වැඩි කාලයක් ගෙව්වත් ක්‍රියාන්විතයන්හි නිරතව සිටි අවස්ථාවල දී හැර හැකි  සෑම අවස්ථාවකදීම දුරකථනය  ඔස්සේ  නිවෙස  හා සම්බන්ධතාව පවත්වා ගත්තේය.

නිවාඩුවකට කොළඹ නිවෙසට ආවද රාජකාරි හමුවීම් යෙදුණ නිසා බිරිය දරුවන් සමඟ කාලය ගත කිරීමට ඔවුන් සමඟ විනෝද ගමනක් යෑමට වත් නොහැකි තරම් අවිවේකී  අවස්ථාද එතුමාගේ ජීවිතයේ තිබිණි.

එතුමා අවසන් වතාවට 1992 අගෝස්තු 05දා නිවෙසට පැමිණ ඔවුන් සමඟ ආදරණීයව ගත කර නැවත අගෝස්තු 06දා රාජකාරි සඳහා පිටත්ව ගියේය.

නිවෙසේ සිටින සිය දරුවන්ට පමණක් නොවේ යුද බිමේ සිටින සොල්දාදුවාටත් දයාබර පියෙක් බ¾දු වූ එතුමා ඒ නිසාම එදා යුද බිමේ පැවති තත්ත්වයන්ට පෞද්ගලිකව මැදිහත් වූ අවස්ථා බොහොමයකි.

මේ කාලය වනවිට සොල්දාදුවන්ට පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් එදිනෙදා කෑම බීමද, සබන්, රේසර් වැනි අනෙකුත් අවශ්‍ය දෑ ද නිසි පරිදි නොලැබුණි. සැපයුම් මාර්ග අවහිරව පැවතීමද ඊට එක් හේතුවකි. ඒ අවස්ථාවලදී ජෙනරාල් සිය හැ¾දුනුම්කම් ඔස්සේ කොළඹින් ඒ දේවල් එක් රැස් කර ගෙන්වා දුන්නේය.

විශේෂයෙන් එතුමා කොබ්බෑකඩුව මහත්මියට නිතර පැවසුවේ කෑම බීම වර්ග විශේෂයෙන් රසකැවිලි සොයා එවන ලෙසයි. අපහසුතා මධ්‍යයේ වුවද එතුමියද ඒවා නොපිරිහෙළා ඉටු කළ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ හමුදා නායකයෙක්ගේ බිරියක් ලෙස ඇගෙන් එදා මෙදාතුර ඉටු වූ සියල්ල කෘතවේදීව සිහිපත් කරමිනි.

එවකට එතුමාට දේශපාලනයට සම්බන්ධ වන ලෙස බොහෝ පාර්ශ්වයන්ගෙන් ආරාධනා ලැබුණත්  කිසි දිනක දේශපාලනයට එක් වීමේ අදහසක්, බලාපොරොත්තුවක් එතුමා සතු නොවීය. දේශපාලන යනු තමන්ට කිසිදු වැඩකට ඇති දෙයක් නොවන බව එතුමා තදින්ම දැරූ මතයකි.

ජෙනරාල් කොබ්බෑකඩුව යනු නොයෙක් කලකිරීම්, හිත් රිදීම් මධ්‍යයේ වුවද රට වෙනුවෙන් හදවතින්ම කැප වී හමුදා සේවයට එහා ගිය සේවයක් කළ සැබෑම නායකයෙක් බවට මේ කරුණු සාක්ෂිය.

කෙසේ හෝ ඉක්මනින් ත්‍රස්තවාදයෙන් මවුබිම බේරා ගැනීමේ සහ යුද්ධය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළ එතුමා ජීවිතයෙන් සමුගන්නා මොහොතේ දී සැලසුම් කරමින් සිටි Final Countdown  මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් එය ඉටු කළ හැකි යැයි ස්ථිර අදහසකින්  සහ අරමුණකින් පසු විය.

පමා වී හෝ එතුමා පැතූ සාමය උදා විය. එහෙත් එදාටත් වඩා අද ජෙනරාල් කොබ්බෑකඩුව වැනි යුග පුරුෂයෙක්ගේ අගය වඩාත් දැනෙමින් ඇත.

සෙන්පති¾දුනි, ඔබට නිවන නුදුරු බව දනිමි. එහෙත් ඊට පෙර වතාවක් ඔබ ප්‍රේම කළ මේ දෙරණ මත  ඉපදෙන්න.

ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි නායකයෙක්ගේ සෙවණැල්ල වැටුණු බිමක ඒ ඇසුරෙහි සිය දිවියම මනුසත් ගුණයෙන් පෝෂණය කර ගත් යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ම එතුමා පිළිබඳ  කතාබහට එක් වූයේ හදවතින්ම උපන්  භක්තියකිනි. ගෞරවයකිනි.

මෙසේ කියමි. ඔබ සියලු දෙනා තුළින් මා ජෙනරාල්ව දුටිමි. එපමණකින් ස්තුතියි කියමි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක

මේජර් ජෙනරාල් කිත්සිරි මල්පෝරුව

බි්‍රගේඩියර් අරුණ විජේවික්‍රම

මේජර් හිරාන් සිල්වා

බලලත් නිලධාරී නිහාල් පෙරේරා

ලිපිය සැකසීමේදී නිලධාරීන් සම්බන්ධීකරණය කර දෙමින් සහාය දුන් සැමටද තුති.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ