උන්නතියේ හා අවනතියේ සංකේතයන් වූ ස්ථම්භ දෙකක්

0
165

මහා භාරතයේ උන්නතියේ අග්‍රස්ථානය වූ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු විසින් ගොඩනඟන ලද ස්ථම්භයක් සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ පසුගාමී කාලපරිච්ඡේදයක ඉදිකරන ලදුව අවනතියේ සංකේතයක් වූ නෙළුම් කුලුන මෙහි දැක්වේ. ශ්‍රී ලංකාව මුහුණදී සිටින වර්තමාන ආර්ථික පරිහානියේ සංකේතය ලෙස නෙළුම් කුලුන ගත හැකි අතර අශෝක ස්ථම්භය ඉන්දීය උප මහාද්වීපයේ නැඟීමේ සංකේතය ලෙස ගිනිය හැකිය. අශෝක කුලුන මනුෂ්‍යත්වය, පූජනීයත්වය විද්‍යමාන කරන අතර නෙළුම් කුලුන එක් යුගයක වංචා දූෂණ කැටිකරගත් දුෂ්ටත්වය පිළිබිඹු කරයි. අශෝක කුලුනට භාරත වැසියන් හිස නමා ගෞරව කරන අතර නෙළුම් කුලුනට ශ්‍රී ලංකාවාසීහු වෛර කරති.

අශෝක කුලුන සදහම් පණිවුඩයේ අග්‍රඵලය ලොවට බෙදාදෙන අතර නෙළුම් කුලුන ඩොලර් මිලියන 104.3ක ණය කන්දක බර මෙරට පුරවැසියන් මත පටවා තිබේ. එය සත පහක ආදායමක් නැති පුරාජේරුවේ සංකේතයයි. අශෝක අධිරාජයා විසින් අපට දායාද කරනු ලැබූ බුදු දහමේ මහඟු පණිවුඩය වටහා නොගත් ශ්‍රී ලංකාවේ වර්තමාන පාලකයෝ අද ද අනුගමනය කරමින් සිටින්නේ අශෝක අධිරාජයා බුද්ධ ධර්මය වැලඳ ගන්නට පෙර චණ්ඩාශෝක ලෙස අනුගමනය කළ භීෂණයේ සහ මර්දනයේ ක්‍රියාපිළිවෙතය. මල් වට්ටිවලින් ඔවුන් එය වසාදමා තිබේ.

ක්‍රිස්තු පූර්ව 268 සිට 232 දක්වා අශෝක අධිරාජයා විසින් ඉන්දියානු උප මහද්වීපය පුරා ඉදිකරවනු ලැබූ අශෝක කුලුනු මඟින් බෞද්ධ ඉගැන්වීම් මත පදනම් වූ ධර්ම ප්‍රතිපත්ති රැසක් භාරත වැසියන්ගේ මනසට කාවද්දා තිබේ. පාලනයේ පදනම හුදෙක්ම මර්දනය මත රැඳිය නොහැකි බවත් සමස්ත රාජ්‍ය එක්කළ හැකි සදාචාර පදනමක් ගොඩනැඟීම තුළ පමණක් රාජ්‍යයක ස්ථාවරභාවය හා දියුණුව ඇති කළ හැකි බවත් අශෝක අධිරාජයා වටහාගෙන තිබිණි.

අශෝක අධිරාජයා ලෝක ඉතිහාසයේ ඉතා සුවිශේෂී රජකු වූයේ සදාචාරය හා පාලනය අතර තිබූ සම්බන්ධය වටහා ගැනීම හා එය සාර්ථකව ක්‍රියාවට නැඟීමට  එතුමා සමර්ථ වූ නිසාය. දේශපාලන සදාචාරය නැති බිමෙක ලැජ්ජා බය දෙක ද නැති බැවින් පාලකයන්ට හෘදය සාක්ෂියක් ද නැත.

ධර්මාශෝක රජු ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී මිහි¾දු හිමියන් මඟින් ලංකාවට දායාද කරන ලද්දේ සදාචාරය හා රාජ්‍ය පාලනය එකිනෙකට බද්ධ කරන දර්ශනයයි. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මෙම දහම මුල්බැස ගැනීමත් සමඟ සාමකාමී සහ ස්ථාවර වූ සමාජ ක්‍රමයක් ඇතිවූයේය. 3 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 800 පමණ කාලය තෙක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මූලික වශයෙන් පැතිරී පැවැති සමාජ සාරධර්මවලට පදනම වූයේ එම බෞද්ධ දර්ශනයයි.

මහින්දාගමනයෙන් පසු සමාජය තුළ පැවැති එකමුතුභාවය එකල ලද ආර්ථික ජයග්‍රහණයන්ගෙන් පිළිබිඹු වේ. අදත් ලෝකය මවිත කරන වාරිමාර්ග පද්ධතිය හා ඒ සමඟ බැ¾දුණු සාරධර්ම මෙන්ම ඉතා ගැඹුරු මානව සම්බන්ධකම්ද ඇති වූයේ මර්දනය කුළුගැන්වීමෙන් නොවේ. අනුරාධපුර යුගයෙ ලාංකේය ඉතිහාසයේ වැදගත්ම යුගය ලෙස සැලකෙන්නේ මෙම ගැඹුරු සාරධර්ම ලාංකේය ජනතාව තුළ මුල්බස්සා ගැනීමට හැකිවීම නිසාය.

බුදු දහමෙන් ඉගැන්වෙන ලෝභ, ද්වේෂ, මෝහ මැඬපැවැත්වීම හා නැතිකර ගැනීම තුළින් ගැඹුරු සමාජ වගකීම් පිළිබඳ දර්ශනයක් අර්ථ ගැන්වේ. තණ්හාව පාලනය කිරීම නිසා මෙවැනි ගැටීම් අඩු වී, නැති වී යනවා පමණක් නොව භෞතික ලෝකයේ සම්පත් සාධාරණව බෙදා හදාගෙන සාමයෙන් ජීවත් වීමටද වාතාවරණයක් ඇතිවන අන්දම බුදු දහම උගන්වයි.

ඉන්දියාව පුරා පිහිටුවනු ලැබූ අශෝක ස්ථම්භ මඟින් මෙම අගනා ධර්ම කරුණු ජනතාවට ඉදිරිපත් කෙරිණි. අශෝක රජුගේ 6 වැනි ශිලා ස්ථම්භයේ සඳහන් පාඨයක් ලංකාවේ මෑතකාලීන දේශපාලන පරිවර්තනයන් වසර දහස් ගණනකට පෙර පැහැදිලි කර තිබේ. 

ඒ මෙසේය.

“පුරවැසියන්ට සමීප විය නොහැකි ස්ථානයක රජු සිටීම ප්‍රජාව තුළ රජු පිළිබඳව අප්‍රසාදජනක හැඟීම් ජනනය කරන අතර ඔහුගේ කිරුළ කෙරෙහි ද අයහපත් ලෙස බලපාන්නේය. රජු රාජතාන්ත්‍රික ප්‍රශ්න විසඳීමට හෝ පුද්ගලයන්ට තමන් හමුවීමට අනවරත අවකාශය ලබාදිය යුතුය”

මෙම කරුණ තේරුම්ගෙන සිටියා නම් හිටපු ජනාධිපතිවරයාට හදිසියේම රටින් පිටව යෑමට සිදුවන්නේ නැත.

අශෝක අධිරාජයා ඇමැතිවරුන්ට නියෝග දී තිබුණේ රජු කුමන කාර්යයක නියැළී සිටියද, කුමන වෙලාවක වුවද, රජුට වාර්තා කළ යුතු යමක් වේ නම්  වහා දැනුම්දෙන ලෙසය. රජවාසලේ විනෝදාස්වාදය ලබමින් සිටියදී වේවා, පෞද්ගලික කාර්යයක නියැළී සිටියදී වේවා, උද්‍යානයේ සිටියදී වේවා, එය එසේ විය යුතු බව හෙතෙම පෙන්වා දී තිබේ. පවතින යථා තත්ත්වයන් සම්බන්ධයෙන් රජු දැනුවත් නොවේ නම් රට අයාලේ යෑම වැළැක්විය නොහැකිය.

පසුගිය කාලයේ ලංකාවේ තිබුණේ මීට සපුරා වෙනස් තත්ත්වයකි. ජනාධිපතිවරයා කියන, කරන දේ රටේ පුරවැසියන් තබා කැබිනට් මණ්ඩලයවත් දැනසිටියේ නැත. රටේ පුරවැසියන් කරන කියන දේ ජනාධිපතිවරයා දැනසිටියේ නැත. ඔහු ගතකරමින් සිටියේ සැඟවුණු අබිරහස් ජීවිතයකි. තනතුර අතරමඟ දමා ගිය හිටපු ජනාධිපතිවරයා නින්දෙන් පිබිදුණේ පුරවැසියන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුවට තඩිබාන විටය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතළම කඩා වැටීමට ගොදුරුව තිබිණි. ජනාධිපති, අගමැති පමණක් නොව කැබිනට් මණ්ඩල දෙකක්ද පුටුවලින් විසි වූයේ සුළි කුණාටුවකට හසුවීමෙන් නොවේ. එක් පැත්තකින් රට ආර්ථික ආගාධයක හෙළා තිබූ නිසාය. අනෙක් පැත්තෙන් රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගැනීමට ඔවුන් අසමත් නිසාය. ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවරක් සිදු නොවන බවත් දෙවැනි අවස්ථාවේ එය එසේම වේ නම් විගඩමක ස්වරූප ගන්නා බවටත් ප්‍රකට ලතින් කියමනක් තිබේ. මේ මොහොතේ ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ යටකී විගඩ මේ කාලපරිච්ඡේදය යැයි කෙනකුට තර්ක කළ හැකිය.

මිලියන ගණනක ජනතාව පාරට බැස ඉල්ලා සිටියේ රට මුහුණ දී ඇති ආර්ථික, සමාජ අර්බුදයට විස¾දුම් ලබාදෙන ලෙසය. හදිසියේ අහම්බෙන් සිදු වූ බල හුවමාරුව අර්බුදයට විස¾දුම් ගෙනෙනු ඇතැයි ඇතැමෙක් කල්පනා කළහ. නමුත් මේ වනවිට විස¾දුමක සේයාවක් හෝ දකින්නට නැත. ආර්ථික අර්බුදය ප්‍රධාන ධාරාවේ සාකච්ඡා සංවාදවලින් බැහැරට යමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ ප්‍රමුඛ ස්ථාන හිමිකරගෙන තිබෙන්නේ වෙනත් කරුණුය. ඔහු විපක්ෂයේ සිටියදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටි සර්ව ආර්ථික ණය කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව ඔහු විසින් තවමත් සම්පාදනය කර නැත. ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් දැන් නිශ්ශබ්දව සිටින්නේ ලංකාණ්ඩුව එම ණය කළමනාකරණ සැලැස්ම ඉදිරිපත් කරනතුරුය. එහෙත් ආණ්ඩුව ඒ පිළිබඳව කතා කිරීම අත්හැර දමා තිබේ. ජනතාවගේ අවධානය වෙනත් දිශානතීන් කරා යොමුවන අන්දමේ උපාය මාර්ගයක පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කරනවාද යන සැකය මතුවෙමින් තිබේ. මේ මොහොතේ ජනතාවගේ අවධානය යොමු කරවන ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.

ජාතික සත්ත්වයා දඬුලේනා වෙනුවට කොටියා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීම මෙතෙක් තහනම් කර තිබූ අන්තවාදී සංවිධාන හයක තහනම ඉවත් කිරීම, දෙමළ ඩයස්පෝරාව සඳහා කාර්යාලයක් ආරම්භ කිරීම, අරගලයට දායක වූ තරුණයන්ට නඩු පැවරීම,  නිවාස දේපොළ ගිනිබත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන්දි ගෙවීම, 2007 වසරේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ මර්වින් සිල්වා නීතිය හමුවට පැමිණවීම, 2015 යහපාලන ආණ්ඩුවේ පාලන කාලයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා වන්දි ගෙවීම.

මෙහි දැක්වෙන ඇතැම් කාරණා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හොඳහැටි සූප්පු කළ හැකි චුයින්ගම්ය. ඇතැම් සත්තු ගලක් විසි කළ විට එය හපා කන්නට එය පසුපස දුවති. කැමැති සත්තු එසේ කළාට අපට කාරියක් නැත. නමුත් ඔවුන්ට එකක් මතක් කළ යුතුය. අරගලය සිරගත කළ පමණින් ජනතාව මුහුණදුන් ප්‍රශ්න එකක්වත් විසඳී නැත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ රෝහල්වල අත්‍යවශ්‍ය ඔෟෂධ නැතිකම නිසා රෝගීන් මියයති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරම් වූ ඉහළ ගොසිනි. දරු පරපුර මන්දපෝෂණයට ගොදුරු වෙමින් සිටී. අහස උසට නැඟ ඇති ප්‍රවාහන ගාස්තු නිසා ඇතැම් දරුවන්ට පාසල්වලට යා නොහැකිව සිටිති. දුප්පතුන්ගේ විදුලි බිල 264%කින් ඉහළ දැමීම නිසා බිල ගෙවාගත නොහැකි අයගේ නිවෙස්වල විදුලිය කපා ඔවුන් අන්ධකාරයට ඇද දමා ඇත. දුෂ්කර ගම්මානවල මිනිස්සු දරුවන් සමඟ නිරාහාරව නින්දට යති.

රටෙ දියුණුව කරා ගෙන යෑමට තරුණයන් වෙනුවට මහල්ලන් පෙරට පැමිණ සිටී. අතපය වෙව්ළන මහල්ලන් විසින් දියුණු කිරීමට තටමන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවය.

උදේනි සමන් කුමාර