අද කෙලී වගේ රටින් පන්නපු බේ‍රස් ගර්ඩල්ව එදා පිලිප්ල රොබට්ල ගුහාවක හංගපු හැටි

0
265

වීසා අවලංගු කර සිටින බි්‍රතාන්‍ය තරුණියක වන කේලි ෆ්‍රේසර් සොයා ගැනීමට නොමැති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කර ඇත. ඇය සොයා ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවද ඇය පවසා තිබිණි.  ශ්‍රී ලංකාවට පැමිණි බි්‍රතාන්‍ය ජාතික තරුණියක වූ කේලි ෆ්‍රේසර් ගෝල්ෆේස් අරගලයට දායක වූ බවටත් අරගලය සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩ මුදාහැරි බවටත් චෝදනා කරමින් ඇගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කළේය. මේ සම්බන්ධයෙන්

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇය විසින් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ රජයේ නීතිඥ අමසරා ගජධීර කේලි ෆ්‍රේසර්ගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ. පෙත්සම මඟින් ඇය ඉල්ලා සිටියේ වීසා අවලංගු කොට ඇයව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගනු ලැබූ රජයේ තීරණය බලරහිත කරන ලෙසය. පසුගිය අගෝස්තු 12 වැනිදා

ශ්‍රේෂ්ඨාධිකරණය කේලිගේ පෙත්සම විභාග කළ අතර ගාස්තුවට යටත් කොට එය නිෂ්ප්‍රභ කරන්න ලදී. ඒ අනුව කේලි ෆ්‍රේසර්ගේ වීසා බලපත්‍රය අවලංගු කෙරුණු අතර 2022 අගෝස්තු 15 දිනට පෙර ඇය ශ්‍රී ලංකාවෙන් පිටවී යායුතු බවට නියම විය. ඉන් අනතුරුව වාර්තා වූයේ කේලි ෆ්‍රේසර් ගැන නිශ්චිත තොරතුරු නැති බව භඤඅතුරුදන්ව ඇති බවත්ය.

බි්‍රතාන්‍ය ජාතික තරුණිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කළ පිළිවෙත පිළිබඳව සමාජයේ විවිධ අදහස් පළ විය. ඒවාට පාදක වූ විශේෂ සිදුවීමක් වූයේ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ ස්කයි ප්‍රවෘත්ති සේවය සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරනු ලැබූ ප්‍රකාශයකි. එහිදී වත්මන් ජනාධිපතිවරයා පවසා තිබුණේ විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත්  එසේ පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය නම් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ගෝල්ෆේස් අරගලයට ද දායක වී විශේෂ අත්දැකීමක් ද ලබාගත හැකි බවය.

බි්‍රතාන්‍ය ජාතික තරුණිය ගෝඨාගෝගම අරගලයට සම්බන්ධ වෙමින් සටන් පාඨ ලියූ පුවරුවක් ප්‍රදර්ශනය කොට එය ඉන්ස්ටග්‍රෑම්හි පළ කළාය. පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කේලි ෆ්‍රේසර්ට ලබාදී තිබූ වීසා බලපත්‍රයට අදාළ කොන්දේසි ඇය විසින් උල්ලංඝනය කර ඇති බැවින් ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරන ලද බවය. අගෝස්තු 15 වැනිදාට ප්‍රථම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ලෙස නියෝගයක් ලබා දී ඇත.

කෙසේ වුවද 2022දී බි්‍රතාන්‍ය ජාතික තරුණිය මුහුණදුන් ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කිරීම වැනි සිදුවීමකට 1937දී ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙස් ගර්ඩල් නමැත්තාට ලංකාවේදී මුහුණදෙන්නට සිදුව තිබේ. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය පැවැති සමයේ සිදු වූ එම සිදුවීම මෙසේය.

මාක් ඇන්ටනි ලෙස්ටර් බ්‍රෙස් ගර්ඩල් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. 1936 දෙසැම්බර් මාසයේ ඔහු ලංකාවට පැමිණියේ බි්‍රතාන්‍ය වතු කොම්පැනියට අයත් තේ වත්තක උප සුපිරින්ටැන්ඩන් කෙනකු ලෙස පත්වීමක් ලබාගෙනය. ඔහු ලංකාවට පැමිණෙන විට ඕස්ට්‍රේලියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකුව සිටියේය. හෙතෙම වැඩ භාරගත්තේ කටුගස්තොටට නොදුරු මඩොල්කැලේ තේ වත්තේය.

බ්‍රෙස් ගර්ඩල් සිය රැකියාව කරන අතර ඒ වනවිට  අධිරාජ්‍ය විරෝධී අරගලයට නායකත්වය දුන් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රකාශන කෙරෙහි උනන්දුවක් දැක්වීය. සමසමාජිස්ට් නමැති ලසසපයේ

Samasamjist නමැති ඉංග්‍රීසි පුවත්පත මඟින් ඔහු  සමසමාජ පක්ෂය සමඟ සම්බන්ධකම් ඇති කරගත්තේය. මඩොල්කැලේ වතුයායේ කම්කරුවන් වතු පාලකයාට විරුද්ධව ගෙන ගිය අරගලයන්හිදී  වත්තේ උප සුපිරින්ටැන්ඩන් තැන කම්කරුවන්ගේ පැත්ත ගත්තේය.

මෙහිදී බි්‍රතාන්‍ය ජාතික වතු අයිතිකරු විසින් බ්‍රෙස් ගර්ඩල් තනතුරින් පහ කරන ලදී. ඔහු ලංකා සමසමාජ පක්ෂයට එක්වූ අතර පක්ෂය විසින් නොයෙක් ස්ථානයන්හිදී සංවිධානය කරන ලද ප්‍රසිද්ධ රැස්වීම්වල කථිකයෙක් බවටද පත්විය. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරගෙන ගොවි කම්කරු බලය ඇති රාජ්‍යයක් පිහිටුවීම දක්වා නිදහස් සටන ඉදිරියට ගෙන යා යුතු බව ඔහු එම රැස්වීම්වලදී ප්‍රකාශ කළේය.

බ්‍රෙස් ගර්ඩල් යටත්විජිත ආණ්ඩුවට විරුද්ධව කතා කරන නිසා ඔහු ලංකාවෙන් පිට කිරීමට වතු හිමියෝ කුමන්ත්‍රණය කළහ. මෙම කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙස් ගර්ඩල් ලංකාවෙන් පිට කිරීමට එවකට සිටි ආණ්ඩුකාර ස්ටබ්ස් නියෝගයක් නිකුත්

කළේය.

එම නියෝගය මෙසේය.

“වික්ටෝරියා මහා රාජිනිය විසින් රාජසභාවේදී 1896 ඔක්තෝබර් 26 වැනිදා කරනු ලැබුවා වූ නියෝගයෙහි 3 වැනි වගන්තිය පරිදි මා හට ලැබී තිබෙන බලය අනුව ලංකාණ්ඩුකාර වන මා විසින් මාක් ඇන්තනි ලෙස්ටර් බ්‍රෙස් ගර්ඩල් වන නුඹ 1937 අප්‍රේල් මස 24 වැනි දින සවස 6.00ට ප්‍රථම ලංකාදීපයෙන් පිටවී යෑමට අණ කරමි.

ආර්.ඊ. ස්ටබ්ස්

ආණ්ඩුකාර තැන 1937 අප්‍රේල් 20”

ආණ්ඩුවේ මෙම හිතුවක්කාර නියෝගයට විරුද්ධව ක්‍රියා කිරීමටත් බ්‍රෙස් ගර්ඩල් වහාම සැඟවීමටත් සමසමාජ පක්ෂය තීරණය කළේය. සැඟවීමේ කාර්යය පක්ෂය විසින් භාරදෙන ලද්දේ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධනගේ බාප්පා වූ රොබට් ගුණවර්ධනටය. නියෝගය නිකුත් කොට දින 3ක් යන තෙක් කොළඹ ආර්. වීරසේකරගේ ‘ප්‍රිටෝරියා’ නිවෙසේ බ්‍රෙස් ගර්ඩල් ඔහු විසින් සඟවා තබාගෙන සිටියේය.

රොබට් ගුණවර්ධන විසින් සිය මතක සටහන්වල මෙම සිදුවීම මෙසේ විස්තර කර තිබේ.

බ්‍රෙස් ගර්ඩල් යෝජනා කළේ තමා උප සුපිරින්ටැන්ඩන් වශයෙන් වැඩ කළ මඩොල්කැලේ තේවත්ත පිටුපස මහා මූකලානක් ඇති බවත් එහි සැඟවීමට ගල් ගෙයක් තිබෙන බවත්ය. එය ඕනෑම කාලයක් සැඟවී සිටීමට සුදුසු ස්ථානයක් බව තමා  ඇවිදින්නට ගිය අවස්ථාවක ඒ ස්ථානය දැක ඇති බවද ඔහු පැවැසීය.

මම එම යෝජනාවට එකඟ වීමි. අප

නුවරඑළියට පැමිණෙන විට රෑ බෝවිය.

නුවරඑළියේදී සැඟවී සිටීමට අවශ්‍ය විදුලි පන්දම්, බැටරි, ගිනි පෙට්ටි, ටින් කෑමද පෙරවීමට අවශ්‍ය බ්ලැන්කට් ආදිය ද මිලදී ගත්තෙමු. නුවරට ළඟා වනවිට රාත්‍රි 9.00 පමණ විය. රාත්‍රි 12.00ට පමණ බ්‍රෙස් ගර්ඩල් සේවය කළ මඩුල්කැලේ වත්තට පැමිණෙන්නට අපට හැකි විය.  වතු පාරේ අවසාන කෙළවරට ගිය පසු බ්‍රෙස් ගර්ඩල් අපට සමු දුන්නේය. එදා සිට හරියටම දින 7ක් ගිය දිනයේ රාත්‍රි 12.00ට මේ ස්ථානයට පැමිණ විදුලි පන්දමක් දල්වා සංඥා කළ විට වහාම රියට පැමිණෙන ලෙස මම ඔහුට දැනුම් දුන්නෙමි. ඊට එක්වූ ඔහු අඳුරේම අතුරුදන් විය. අප ආපසු කොළඹට පැමිණෙන විට රථය සැතපුම් 436 පදවා තිබිණි.

ලංකාණ්ඩුකාරයාගේ නියෝගය මත බ්‍රෙස් ගර්ඩල් ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණේ අප්‍රේල් 24 වැනි දිනය. කොළඹ වරායෙන් ඔහු පිටත් වී යන අන්දම බැලීමට සුද්‍ෙදා් බොහෝදෙනෙක් කොළඹ තැප්‍රොබේන් හෝටලයේ උඩුමහලට වී සිටියහ. මඩොල්කැලේ වත්තේ අයිතිකරු  ද ඔවුන් අතර විය. නමුත් ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි බ්‍රෙස් ගර්ඩල් නැව් නැග්ගේ නැත. ලංකාවේ අධිරාජ්‍යවාදී පොලිස්පති ඉංග්‍රීසි ජාතික බෑන්ක්ස් රට දෙවනත් කරමින් ආණ්ඩුකාරයාගේ නියෝගය අනුව බ්‍රෙස් ගර්ඩල් ඇල්ලීමට පොලිසිය යොදවා මහත් පරිශ්‍රමයක් දරමින් සිටියේය.

දින 7ක් ගෙවුණු තැන පිස්තෝලයක්ද රැගෙන රෙජී සේනානායකගේ මෝටර් රථයෙන් මඩොල්කැලේ බලා පිටත් වුණෙමු. මඩොල්කැලේ වත්තට ඇතුළුව මූකලාන අසලට අප යනවිට රාත්‍රි 12.00 විය. කලින් දැනුම්දුන් පරිදි විදුලි පන්දම දල්වා සංඥාව නිකුත් කරන ලදී. අ¾දුරේම තේ ප¾දුරු අතරින් බ්‍රෙස් ගර්ඩල් ඉදිරියට පැමිණියේය. මෝටර් රථයෙහි ඔහු නංවාගෙන කොළඹට පැමිණ කොස්ගස් හන්දියේ නිවෙසක සඟවන්නට කටයුතු යොදා තිබිණි.

ලංකා සමසමාජ පක්ෂය මැයි 01දා ගාලුමුව‍ෙදාර පිටියේ රැස්වීමක් සංවිධානය

කළේය. එම රැස්වීමේදී බ්‍රෙස් ගර්ඩල් ජනතාව අමතන බව ප්‍රසිද්ධ කරන ලදී. රැස්වීම පටන් ගැනීමට නියමිතව තිබුණේ සවස 5.00ට වුවද සවස 3.00 සිටම නොයෙකුත් පළාත්වලින් පිරිස් රැස්වීමට ගලා ආවේය. අශ්වයන් පිට නැඟ ගත් සුදු පොලිස් නිලධාරීන් සෑම තැනකම විසිර සිටියහ.  නියමිත වේලාවට ගෝල්ෆේස් පිට්ටනියේ නියම කරගත් ස්ථානයට බ්‍රෙස් ගර්ඩල් රැගත් මොටෝරිය ගෙන එන ලෙස අමරසිංහ සහෝදරයාට දැනුම් දී තිබිණි.

සියල්ල සැලසුම් කළ පරිදි සිදුවිය. බ්‍රෙස් ගර්ඩල්  රියේ පිටුපස ආසනයේ නිදාගෙන පැමිණියේය. කලින් දැනුම්දුන් පරිදි අමරසිංහ සහෝදරයා රියේ ‍ෙදාර විවෘත කළ විට ඔහු සෙනඟ අතරින් රිංගා ගොස් වේදිකාවට නැඟගත්තේය.  සහෝදර බ්‍රෙස් ගර්ඩල්ට ජයවේවා යන හඬ සෑම තැනින්ම ඇසෙන්නට විය. සිය ගණනක් පොලිස්කාරයෝ විලම්භීතව බලා සිටියහ. කිසිවෙක් බ්‍රෙස් ගර්ඩල් ඇල්ලීමට ඉදිරිපත් වූයේ නැත්තේ අතිවිශාල සෙනඟ නිසාය. වේදිකාවට නැඟගත් බ්‍රෙස් ගර්ඩල් සභාව අමතන්නට පටන් ගත්තේය. ඔහුගේ කතාව මෙසේ විය.

අධිරාජ්‍යවාදීන් මට වෛර කරන්නේ මා කම්කරු ගොවි සහෝදරයන්ට පක්ෂ නිසාය. නමුත් දවසින් දවස දුප්පත් පන්ති කම්කරු මහජනයාගේ බලය වැඩි වේ. එබැවින් කොතරම් කළත් සමසමාජය නිසා වැඩි වී තිබෙන කම්කරු බලය කඩා දැමීමට බැරිය. අද මේ සභාවට පැමිණි තමුන්නාන්සේලා මා ගැන දක්වන භක්තිය ලංකාවේ කම්කරු පන්තියේ ජයග්‍රහණයේ පෙරනිමිත්තකි. මාව අල්ලා ගැනීමට පුළුවන. නමුත් මා ඊට බය නැත. මගේ එකම අදහස ලෝකයේ සෑම රටකම කම්කරු පන්තිය සැපත කරා ගෙනයෑමයි. ලෝකයේ කම්කරුවනි එක්වව්. ලෝක විප්ලවයට ජය වේවා.”

සති තුනකට පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වනවිට නියෝගය අවලංගු වී තිබිණි. සමසමාජ පක්ෂය විසින් ආණ්ඩුවට විරුද්ධව නඩු දමන ලදී. ටික කලකට පසුව බ්‍රෙස් ගර්ඩල් එංගලන්තය බලා පිටත්ව ගියේය.

රොබට් ගුණවර්ධනගේ විස්තරයෙන් පැහැදිලි වන්නේ එදා සුදු ආණ්ඩුව යටතේ වුවද ආගමන විගමන නීති සමඟ ලංකා සමසමාජ පක්ෂය හැපුණු බවය. නමුත් කේලි ෆ්‍රේසර් සම්බන්ධයෙන් මෙරට කිසිදු සංවිධානයක් හෝ දේශපාලන

පක්ෂයක් අවධානය යොමු කළ බවක් නොපෙනිණි. ඊට බලපෑ ඒ හේතු කුමක් දැයි අපි නොදනිමු. සිදුවීම් දෙකෙහි කිසියම් සමානත්වයක් ඇති බව සැඟවිය නොහැකිය. ලෝකයේ සෑම ස්වෛරී රාජ්‍යයකටම පොදු ආගමන විගමන නීති පවත්වාගෙන යන බව සත්‍යයකි. නමුත් ඒ සියල්ල එක්සත් ජාතීන් පිළිගත් විශ්වීය මානව අයිතිවාසිකම්වලින් ආවරණය විය යුතුය.

උදේනි සමන් කුමාර