අතුරුදන් කෝටිපතියා සොයා ගන්නා තුරු මිද්දෙණිය ඝාතනය තවමත් අබිරහසක්..!

0
181

පසුගිය දිනවල දිගින් දිගටම සිදුවූ වෙඩි තැබීම් බොහොමයක් මත්ද්‍රව්‍ය ආරවුල් මත සිදුවූ ඒවාය. ඒ අතරින් දකුණු පළාතේ එවන් මිනිස් ඝාතනයක් සිදුවූ සැණින් එය හරක්කටාගේ ගිණුමට බැර කරන්නටද ඇතැම් පොලිස් නිලධාරීහු ක්‍රියා කළහ. නැතහොත් පාතාලය දෙසට ඔවුහු ඇඟිලි දිගු කළහ. එහෙත් ඒ මුවාවෙන් සිදුකළ වෙඩි තැබීම්ද විය. පොලිසිය ඒ බව හඳුනාගනු ලබන්නේ කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුවය.

ඉකුත් මස 26 වැනිදා මිද්දෙණිය පොලිස් වසමේදී නාඳුනන තුවක්කුකරුවන් පුද්ගලයකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළේය. මෙම වෙඩි තැබීමෙන් මරු දුටුවේ ප්‍රභාත් මංජු නමැති මල්ශාලා හිමිකරුවෙකි.

ඉකුත් මස 26 වැනිදා උදෑසන 9.00ට පමණ ඇඹිලිපිටිය – මිද්දෙණිය පාරේ පවත්වාගෙන ගිය මල්ශාලාව විවෘත කිරීම සඳහා පැමිණ සිටියදී ඔහු ඝාතනයට ලක්විය. විමර්ශන ඇරැඹුවේ මිද්දෙණිය පොලිසියෙනි. නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා එතැන වැටී තිබූ හිස් පතරොම් කොපු පරීක්ෂා කර පැවැසුවේ ඝාතකයන් මල්ශාලා හිමිකරු මරා දමා ඇත්තේ ටී. පනස්හය ගිනි අවියකින් බවය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ මියගිය පුද්ගලයා කලින් වෙනත් මල්ශාලාවක සේවය කර ඇති බවත් ඉන් අනතුරුව ඔහු තමාටම කියා මිද්දෙණිය පාරේ මල්ශාලාවක් විවෘත කිරීම නොරිස්සූ අයකු කොන්ත්‍රාත් ක්‍රමයට මොහු ඝාතනය කර ඇති බවත්ය. ඇතැම් සමාජ මාධ්‍ය පැවැසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මිද්දෙණිය පදිංචිකරුවකු බැවින් හරක්කටාගේ උපදෙස් මත මල්ශාලා හිමිකරු ඝාතනය කර ඇති බවය.

කෙසේ වෙතත් මිද්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයාගැනීම සඳහා මූලික විමර්ශන පැවැත්වූ අතර ඔවුන් සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කරමින් මල්ශාලා හිමිකරු ඝාතනය කළ පුද්ගලයන් හඳුනා ගැනීමට උත්සාහ කළද ඒ හැරෙන්නට වෙනත් වැදගත් තොරතුරක් මිද්දෙණිය පොලිසිය සතු නොවීය.

මේ අතර තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා විසින් මල්ශාලා හිමිකරු ඝාතනයේ විමර්ශන තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදීමට පියවර ගත්තේය. ඒ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ තංගල්ල, හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මතය. ඒ අනුව එම විමර්ශන සිදුකිරීම පැවැරුණේ කොට්ඨාස අපරාධ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල් ඇතුළු කණ්ඩායමටය.

අමල් තංගල්ලට පැමිණීමට කලියෙන් රාජකාරි කළේ කොළඹ උතුර කොට්ඨාසය භාරවය. අපරාධ විසඳීමේලා පරිණත දැනුමක් ඇති හෙතෙම මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ අබිරහස් ඝාතනයක සුලමුල සොයා ඊට සම්බන්ධ වූවන්ද අත්අඩංගුවට ගැනීමේ විමර්ශනද මෙහෙයවීය. සිද්ධියට සැකපිට මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ අණ දෙන නිලධාරියා ඇතුළු හමුදා නිලධාරීන් 10ක් පමණ විමර්ශනයේදී අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව ඉකුත් වසරේ අගෝස්තු මස 20 වැනිදා තොටළඟ එල්ලේ ක්‍රීඩා සමාජයේ නායකයකු මරා කළුගල් ගැටගසා කාක දූපතේ ගඟේ ගිල්වා තිබියදී ඔහුගේ මළ සිරුර සොයා ගැනිණි.

කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය වූ ස්ථානය හා ඒ අවට මාර්ගවල සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීම දෙවැනි වරටත් සිදුවූයේ ඉන් පසුවය. ඒ අතර බුද්ධි නිලධාරීහු කණ්ඩායමක් මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයන්නට මහත් වෙහෙසුණහ.

“අපි මුලින්ම මියගිය පුද්ගලයාගේ හෑන්ඩ්ෆෝන් එක ඔස්සේ විමර්ශනයක් සිදුකළා. සිදුවීම වෙන්න කලින්  ඒකට කවුද කෝල් කළේ, මෙයා ගත්ත කෝල් මොනවද කියලා. ඒ අතරතුර අපි දිගින් දිගටම සී.සී.ටී.වී. බැලුවා. අපි සැක කළේ බයික් එකකින් ඇවිත් මල්ශාලා හිමිකරුට වෙඩි තියන්න ඇතැයි කියලයි. ඒත් දීර්ඝ විමර්ශනයේදී අපිට හෙළි වුණා ඒ වෙලාවට මාර්ගය දිගේ එන්නේ සුදුපාට වැගන් ආර් රථයක් කියලා.”

“වැගන් ආර් වාහනයේ හැඩරුව තියුණු ලෙස බලද්දී ඒකේ නොම්මර ප්ලේට් එකේ කොටසකට ස්ටිකරයක් අලවලා තිබුණා. වෑන් එකේ නොම්මරේ හරියට පේන්නේ නැති වෙන්න.”

“පස්සේ අපි තවත් ඒ වැගන් ආර් එක සෝදිසි කරද්දී අපිට පෙනුණා ඒකේ රෝදවලට ඇලෝවීල් හයි කරලා තියෙනවා කියලා. වැගන් ආර්. වාහනවලට ඇලෝවීල් හයි කරන්නේ කලාතුරකින්. අනික ඒ මොඩල් එකට සාමාන්‍යයෙන් ඇලෝවීල් හයි කරන්නේ නැහැ. ඉන්පස්සේ අපි හෙව්වා ඒ පැත්තේ මේ ඇලෝවීල් හයි කරපු වාහන කොහේද තියෙන්නේ කියලා.” විමර්ශන සිදුකළ නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිය කණ්ඩායම යොදවා දකුණු පළාතේ ඇලෝවීල් සවි කරපු සුදු පැහැති වැගන් ආර් ඇති නිවෙස් සහ ස්ථාන පිරික්සන්නට වූහ.

“ඔන්න ඔතැනදි අපිට තොරතුරක් ලැබෙනවා තංගල්ල පැත්තේ මේ වගේ වාහන කුලියට දෙන තැනක් තියෙනවා කියලා. අපි ඒ රෙන්ට් කාර් ආයතනයට ගිහින් එහෙම වෑන් එකක් තියෙනවද ඒක 26 වැනිදා කවුද අරගෙන ගියේ කියලා චෙක් කරනවා.”

මෙම සෝදිසියේදී කුලියට වාහන ලබාදෙන ස්ථානයේ හිමිකරු පවසන්නේ ඊට සති දෙකකට පමණ පෙර පුද්ගලයෙක් පැමිණ එම ඇලෝවීල් වැගන් ආර් රථය රැගෙන ගිය බවත් පසුවදා ඔවුන් එම රථය නැවත ගෙනවිත් භාරදුන් බවත්ය.

“අරන් ගිය පුද්ගලයාගේ අයිඩෙන්ටි කොපිය ඔයගොල්ලෝ ගත්තද” නිලධාරීන් හිමිකරුගෙන් විමසීමත් සමඟ ඔහු ලිපිගොනුවක් ඇද වෑන් එක කුලී පදනම මත රැගෙන ගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් ඡායාරූප පිටපත නිලධාරීන්ට ඉදිරිපත් කළේය.

ඒ අනුව අනාවරණය වන්නේ එම ජාතික හැඳුනුම්පත තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි මද්දු යන පුද්ගලයකුට අයත් එකක් බවය. ඉන් අනතුරුව පොලිසිය සැක කළේ මද්දු මෙලෙස වැගන් ආර් වාහනය රැගෙන ගොස් ඇති බවය. ඒ අනුව බුද්ධි නිලධාරීන් යොදවා මද්දු සමඟ ඒ දිනවල ඇසුරු කළ පුද්ගලයන් කවුදැයි සොයන්නට නිලධාරීහු කටයුතු කළහ.

“ඔය අතරේ තමයි අපිට තොරතුරු එන්නේ එදා වැගන් ආර් එකෙන් ගිහින් තියෙන්නේ මද්දුයි, චූටි කියලා. පස්සේ අපි දෙන්නවම හොයනවා. ඒ අතරතුර මෙයාලගේ ෆෝන්වල විශ්ලේෂණ වාර්තාත් ලබාගෙන එයාලා කොහේද ඉන්නේ කියලා හොයනවා. දෙන්නම විතාරන්දෙණියේ පදිංචිකරුවන්.

මෙලෙස මද්දු සහ චූටි ගැන සොයද්දී කොට්ඨාස විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට තවත් තොරතුරක් ලැබිණි.  ඒ චූටි නමැත්තා විතාරන්දෙණිය ඔහුගේ නිවෙසට රාත්‍රි කාලයේ ඇවිත් යන බවටය. නිලධාරීන් දින කිහිපයක් නොයෙකුත් වෙස් ගෙන චූටිගේ නිවෙස අසල සැරිසැරුවද චූටි සිය නිවෙසට ආවේ නැත.

“ඔන්න ඔය අතරේ තමයි තව තොරතුරක් ලැබෙන්නේ. චූටි කියන පුද්ගලයා තිස්සමහාරාම, මාගම ප්‍රදේශයේ ඥාති ගෙදරක ඉන්නවා කියලා. අපි ඒ ඔස්සේ මාගමට ගිහින් ගෙවල් කිහිපයක් චෙක් කළත් චූටි හොයාගන්න බැරිවුණා. ඒ අතරේ සැකයට එක ගෙදරකට එකපාරට කඩා පැන්නම අන්න ඒ ගෙදර ඉඳලා චූටි අපිට අහුවෙනවා.” පසුව සැකකරු තිස්සමහාරාම මාගම සිට තංගල්ලට රැගෙනවිත් ප්‍රශ්න කරද්දී මිද්දෙණිය මල්ශාලා හිමිකරු මංජුල ප්‍රභාත්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු එකක් නෑර හෙළිවන්නට විය. මෙම ප්‍රශ්න කිරීමේදී චූටි පැවැසුවේ තමා මල්ශාලා හිමිකරු ඝාතනය කළ බවය. ඒ කෝටිපති ව්‍යාපාරිකයකු දුන් කොන්ත්‍රාත්තුවක් මත බවද ඔහු කීවේය. එමෙන්ම එම ව්‍යාපාරිකයා විසින් ඒ සඳහා ගිනිඅවියක්ද ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වූයේ සැකකාර ව්‍යාපාරිකයා මල්ශාලා හිමිකරු ඝාතනය සඳහා ටී පනස් හය ගිනි අවියක්ද සමඟ රුපියල් පනස් දහසක්ද ලබා දී ඇති බවය.

තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී චූටි පැවැසුවේ තමා සහ මද්දු වැගන් ආර් රථයෙන් ගොස් මල්ශාලා හිමිකරු ඝාතනය කළ බවත්, ඒ අවස්ථාවේ වැගන් ආර් රථය පැදෙව්වේ “මද්දු” බවත්ය.

“අපිට ඒ කොන්ත්‍රාත් එක දුන්නේ ලක්ෂ 10ක් දෙනවා කියලා. මුලින් වෙපන් එකත් එක්ක පනස්දාහක් දුන්නා. ඒක අතේ තියාගෙන මම මද්දුත් එක්ක එයාගේ මෝටර් බයිසිකලේ කිහිප වතාවක්ම මල්ශාලාවේ අයිතිකාරයට ගහන්න ගියා.”

චූටි පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට විය. මද්දුට අයත් යතුරුපැදියක නැඟී චූටි ගිනිඅවියද අතැතිව මිද්දෙණිය නගරයේ සහ මල්ශාලාව අවට දින කිහිපයක්ම මංජුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටියහ. එහෙත් එක අවස්ථාවකදීවත් මංජු මල්ශාලාවට පැමිණියේ නැත. ඒ නිසා දින ගණනාවක් ආපසු හැරී යන්නට ඔවුනට සිදුවිය.

“මචං මේ වැඩේ හරියන්නේ නැහැ. අපිට බයික් එකෙන් ගිහිල්ලා මේ ගේම ගහන්න බැහැ. උඹ කොහෙන් හරි වාහනයක් සෙට් කරගනින්. අතේ තියෙන පනස් දාහෙන් ඒක රෙන්ට් එකට ගමු.”

චූටි සිය මිතුරා වූ මද්දුට පවසන්නට විය. මද්දු තංගල්ලේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකට ගොස් වැගන් ආර් රථයක් කුලියට ලබාගන්නේ ඉන් පසුවය.

ඉන් අනතුරුව තවත් දින දෙක තුනක් මිද්දෙණිය නගරයේ රැඳෙමින් ඔවුහු හිමිකරු මල්ශාලාවට පැමිණෙන තෙක් ඇඟිලි ගැන්නාහ.

මල්ශාලා හිමිකරු පදිංචිව සිටින්නේද මිද්දෙණිය නගරයට නුදුරින් පොලිසිය ආසන්නයේ ඇති අතුරු පාරකය.

කෙසේ වෙතත් මොවුන්ගේ ඉලක්කය හරියන්නේ ජූලි 26 වැනිදාය. එදින උදෑසන හතේ සිට මොවහු වැගන් ආර් රථයේ මිද්දෙණිය නගරය ආසන්නයේ නතරකරගෙන මංජු එනතුරු බලා සිටියහ. වේලාව උදෑසන 8 පසුවිය. මද්දු දුටුවේ මංජු රැගත් වාහනය පටු පාර දිගේ පැමිණ මිද්දෙණිය පාරට දමන අයුරුය.

“මචං අරූ එනවා. අද කොහොම හරි ගහමු.”

මද්දු සිය මිතුරා වූ චූටිට කීවේය. චූටි අත තිබූ ටී පනස්හය ගිනිඅවිය ලකලෑස්ති කරගත්තේය. මළසිරුරු ප්‍රවාහනය කරන රිය පැදගෙන පැමිණි මංජු එය මල්ශාලාව ඉදිරිපිට නතර කර ‍ෙදාරවල් විවෘත කරන්නට සැරසුණේය.

“අපිත් ඒ පස්සෙන් ඇවිත් මල්ශාලාව පාස් කරලා ඉස්සරහට ටිකක් ගිහින් ආපසු හරවාගෙන ඇවිත් මංජුට වෙඩි තිබ්බා”

සැකකාර චූටි කියන්නේය.

“ඉන් පස්සේ මුරුංගස්යාය හන්දියෙන් අංගමට වැටිලා මිදිතැන්න පැත්තට ගියා.” ඔහු කීවේ ඇත්තකි. ඒ බව සීසීටීවී කැමරාවලද සටහන් වී තිබිණි. මල්ශාලා හිමිකරුට වෙඩි තැබීමත් සමඟ ඔහු එතැනම ඇදවැටිණි. පසුව  ඔහු රෝහල කරා රැගෙන ගියද ඔහු ඒ වනවිටත් මරු තුරුලට ගොස් තිබිණි.

මංජු මියගිය බව දත් චූටි සහ කසුන් ඊළඟට ගියේ තංගල්ලේ දහම්පොළ වත්තේ වාහන කුලියට ලබාදෙන ස්ථානයටය. ඉතිරි මුදලද සමඟ වාහනය භාරදුන් මොවුහු මඟදී කතා කරගත් පරිදි තිස්සමහාරාමයේදී ව්‍යාපාරිකයා මුණගැසුණහ. ඔහු රුපියල් ලක්ෂ 10ම දුන්නේ චූටිටය.

“එයා අපිට ලක්ෂ 10 දුන්නා. අපි ඒකත් අරන් තිස්සමහාරාම මාගමට ගියා.” චූටි කියන්නට විය. මාගම පිහිටියේ චූටිගේ ඥාති ගෙදරකි. ඔහු එහි ගියේ මද්දු සමඟය.  ඒ මද්දුට අයත් යතුරුපැදියෙන්ය. එහිදී රුපියල් ලක්ෂ පහ බැගින් දෙදෙනා බෙදා ගත්හ.

මද්දු මාගම දවස් දෙක තුනක්ම රැඳී සිටියේය. ඔවුහු අත තිබූ මුදල්වලින් මත්පැන් මෙන්ම කාබී විනෝද වූහ. මේ බව ගෙදර හිමියාද දැන සිටියේය. මොවුන් මිනීමැරුමක් සිදුකර නිවෙසට පැමිණ ඇති බව ඔහු නොදන්නවා විය නොහැකිය. ඒ නිසා පොලිස් කණ්ඩායම ආධාර අනුබල දීම යටතේ නිවෙසේ හිමිකරුද සැකපිට අත්අඩංගුවට ගත්හ.

“කෝ දැන් මද්දු”

“එයා දැන් දවස් හය හතකට කලිනුත් ඇවිල්ලා ගියා. ඉන් පස්සේ මෙහෙ ආවේ නැහැ.” චූටිත් නිවෙස් හිමිකරුත් කීහ.

“හරි, කෝ උඹ මංජුලට ගහපු වෙපන් එක. ස්ථානාධිපතිවරයා චූටිගෙන් ප්‍රශ්න කරන්නට විය. මුලින් බොරු බේගල් ඇදබාන්නට චූටි උත්සාහ කළද පසුව ඔහු ඇත්තම කීවේය.

“සර් වෙපන් එක හරක් ගාලේ හංගලා තියෙනවා. ගේ පිටිපස්සේ” චූටි කීවේය. නිවෙස යාබදව ලොකු හරක් ගාලක් විය. එහි හරක් පැටව් සඳහා වෙන් කරන ලද කොටසකි.

“ඔතන හංගලා තියෙන්නේ සර්”

නිලධාරීහු උදැල්ලක් ගෙනවිත් එම ප්‍රදේශය හාරන්නට වූහ. පස් ගොඩ අතරින් මතු වූයේ විශාල ඇස්ලෝන් බටයකි. එහි දෙපැත්ත ඉටිකොළවලින් ආවරණය කර තිබිණි. එය ගලවා බැලූ කල එහි තිබී ටී පනස් හය ගිනිඅවිය හමුවිය. ඒ සමඟම පතරොම් 17ක් ද විය.

පසුව චූටිගෙන් කළ තවත් ප්‍රශ්න කිරීම්වලදී  ඔහු සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ විසිදාහක් සොයාගැනීමටද නිලධාරීන්ට හැකිවිය.

“උඹට මේ සල්ලි කොහෙන්ද?”

“කන්ට්‍රැක් එකට හම්බවුණු ලක්ෂ පහෙන් ඉතුරු වුණේ ඔච්චරයි සර්”

“උඹට මද්දු ෆෝන් එකෙන් කතා කරන්නේ නැද්ද”

ස්ථානාධිපතිවරයා චූටිගෙන් කරුණු විමසන්නට විය.

“ඉඳලා හිටලා කතා කරනවා.”

“උෟ කොහේ ඉන්නවාද කියලද කියන්නේ”

“මම හිතන්නේ විතාරන්දෙණිය පැත්තේ.”

චූටි සහ අත්අඩංගුවට ගත් වැගන් ආර් රථයද රැගෙන මිද්දෙණිය පොලිසියට ගිය තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු සැකකාර චූටි හා වැගන් ආර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිද්දෙණිය පොලිසියට භාරදුන්හ. කෙසේ වෙතත් වැගන් ආර් රථයට සවිකර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ යතුරුපැදියක අංකයකි.

ඉන්පසු නිලධාරීන්ගේ අවධානය යළි යොමු වූයේ මද්දු කොටුකර ගැනීම සඳහාය. එමෙන්ම නිලධාරීන්ගේ උකුසු ඇස් කෝටිපති ව්‍යාපාරිකයා වෙතද එල්ල වී ඇත. එහෙත් ඔහු ගම් පළාතෙන් මාරු වී ගොසිනි.

නිලධාරීන් මද්දු ගැන තොරතුරු සොයද්දී ස්ථානාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ ඔහු විතාරන්දෙණිය නිවෙසකට රෑට රෑට යන එන බවය. නිලධාරීහු සිවිල් වෙස් ගෙන ගමේ පදිංචිකරුවන් සේ හැසිරෙමින් දින කිහිපයක්ම විතාරන්දෙණිය හා ඒ අවට සැරිසැරූහ.

ඒ අතරතුර ඉකුත් දිනක ස්ථානාධිපතිවරයාට තවත් වැදගත් තොරතුරක් ලැබිණි. ඒ “මද්දු” පෙර දා මහ රෑ නිවෙසට පැමිණි බවත් සමහර විට තවමත් ඔහු එම නිවෙසේ සිටිය හැකි බවත්ය. ඒ, බුද්ධි තොරතුරු මතය.

ලැබුණු තොරතුරු අත්නොහල පොලිස් පරීක්ෂක නිශාන්ත සිය කණ්ඩායමක් ද රැගෙන විතාරන්දෙණිය හේනගම ප්‍රදේශයට ගියහ. නිලධාරීන් එම ප්‍රදේශයේ ගෙයක් සෝදිසි කරන්නට විය. මද්දු හිටියේ තද නින්දකය. මද්දුව අවදි කළ නිලධාරීන් ඔහු මද්දු බව තහවුරු කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේය.

“කලබල කරන්න එපා. උඹගේ අනිත් එකාත් අපි අල්ලගෙන ඉන්නේ. කෝ උඹගේ බයික් එක. ස්ථානාධිපතිවරයා මද්දුගෙන් විමසුවේය. ඔහුට බොරු කියන්නට නොහැකි විය. ඒ ඔහු ඊට පෙරදා නිවෙසට පැමිණි තිබුණේද එම යතුරුපැදියෙනි.

“සර් දර මඩුව පිටිපස්සේ තියෙනවා.”

මද්දු මල්ශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා චූටි සමඟ මුලින් ගමන් කළ ඔහුට අයත් යතුරුපැදිය නිලධාරීන්ට පෙන්වීය. නිලධාරීන් එයද අත්අඩංගුවට ගත්තේය. තවදුරටත් ඔහු රැඳී සිටි නිවෙස සෝදිසි කළ නිලධාරීන්ට එහි තිබූ මුදල් රුපියල් එක්ලක්ෂ අසූදාහක්ද සොයාගැනීමට හැකිවිය.

“කොහෙන්ද උඹට මේ සල්ලි.,

“ලක්ෂ පහෙන් ඔච්චරයි ඉතිරි. අනිත් ඒවා වියදම් වුණා.”

ප්‍රශ්න කිරීමේදී මද්දු හෙළි කළේ ලැබුණු කොන්ත්‍රාත් මුදලෙන්  රුපියල් 65,000ක් ගෙවා නවීන තාක්ෂණ සහිත ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බවය. නිලධාරීහු එම දුරකථනයද සිය භාරයට ගත්හ.  එමෙන්ම යතුරුපැදියේ යද්දි පාවිච්චි කරන ලද ජැකට් දෙකක් සහ හිස් වැසුම් දෙකද පොලිසිය භාරයට ගත්තේය.

ඊළඟට නිලධාරීන්ට තවත් විස¼දාගත යුතු ප්‍රශ්නයක් විය. ඒ මල්ශාලා හිමිකරු වෙඩි තබා මරා දැමුවේ ඇයිද යන්නය.

එහිදී පොලිසියට එක් කාරණයක් අනාවරණය කරගත හැකිවිය.

මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියක් එම ප්‍රදේශයේම තරුණයකු සමඟ පැනගොස් තිබේ.  ඒ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඉඩමට ආසන්නව පදිංචිව සිටි මල්ශාලා හිමිකරුගේ නිවෙසට ආගිය තරුණයකු සමඟ හාද වීමෙන් පසුවය. එම තරුණයා මල්ශාලා හිමිකරුගේ පුතාගේ මිතුරකු බවද මේ වනවිට පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබී තිබිණි. ඒ සඳහා මිද්දෙණිය පොලිසියටද පැමිණිලි කර තිබූ බවද සඳහන්ය.

ඒ හේතූන් මත කෝටිපති ව්‍යාපාරිකයා සහ මල්ශාලා හිමිකරු අතර වෛරයක් තිබූ බවත් ඉඩම් හා ව්‍යාපාර ප්‍රශ්නද ඔවුන් අතර තිබූ බවද පොලිසිය සඳහන් කළේය. එහෙත් මෙය සත්‍යයක්ද යන්න නිලධාරීහු තවමත් විශ්වාස නොකරති. ඒ සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත ලැබුණු කරුණු කාරණාය. මංජු ප්‍රභාත් ඝාතනය කළේ ඇයිද යන්න නිශ්චිතව දැනගත හැකිවන්නේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් කියන්නේ ඇත්තද නැත්ද යන්න දැනගැනීමට නිලධාරීහු බලාපොරොත්තු වෙති.

එතෙක් එම තොරතුරු සැක සහිතය. ඒ සියල්ල හෙළි කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම කෝටිපති ව්‍යාපාරිකයා පසුපස පන්නමින් සිටී. එහෙත් මේ වනතුරුත් ඔහු අතුරුදන්ය.

අත්අඩංගුවට ගත් චූටිත් මද්දුත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත  කර තිබේ.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය මත තංගල්ල, හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ. නිශාන්ත ලාල් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ඥානපාල සැරයන්වරුන් වන උදයංග (19894), ඉරේෂ් (61929) සහ කොස්තාපල්වරුන් වූ දයානන්ද (64779), චමින්ද (68435), දේශාන් (68864), එරන්ද (78228), ප්‍රතාපසිංහ (79437), ලක්මාල් (82633) සහ පොලිස් කොස්තාපල් රියැදුරු වීරසිංහ (15347) යන නිලධාරීහු මෙම විමර්ශනයට  එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණි.

කීර්ති මෙන්ඩිස්