Henry Kissinger කියවපල්ලා

0
117

“දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතක් නොතිබෙන රටකට විපත් බොහෝය. එනිසාම ඇතිවන අයහපත් ප්‍රතිඵල දරා ගන්නට නොහැකි වන තරම්ය. අප විසින් උදාකරගත් එවන් ගැටලු විසඳන්නට යෑමේදී තව තවත් සිරවීම්, පීඩනයන් මෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ටද මුහුණ පෑමට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ නියමාකාරයෙන් හෝ අනියමින් හෝ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමය. එනිසාවෙන් රාජ්‍ය පාලකයන් ප්‍රඥාවන්තයන් විය යුතු වන්නේය.”

මෙය, කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස ප්‍රකට, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු 56 වැනි රාජ්‍ය ලේකම්වරයා වූ හෙන්රි කිසින්ජර් විසින් ලියන ලද කෘතියක වන “Diplomacy”හි සඳහන් වූවකි. එය මේ මොහොතේ ශ්‍රී  ලංකාවේ දේශපාලන යථාර්ථය හා රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ හැසිරීම් පිළිබඳව යළි සිතා බලන්නට අප උනන්දු කරවන්නකි.

හෙන්රි කිසින්ජර් ඇමරිකානු පන්නයේ, ඇමරිකානු ආරේ, ඇමරිකාව දිනවන තාලේ අයකු යැයි ඇතැමුන් විග්‍රහ කළද, රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ සංවාදයේදී ඔහු කියූ උක්ත කරුණු බොහෝදුරට වැදගත් වීම නිසා එය බැහැර කළ නොහැකිය.

ඔහු රාජ්‍යතාන්ත්‍රික නිලධරයකු වශයෙන් පමණක් නොව එම දැනුම, එම විෂයය කෙරෙහි උනන්දුවක් දැක්වූ පර්යේෂකයන්ට දැනුම බෙදා දෙන්නට කැපවූ කතුවරයකුද වන්නේය. ඔහු ලියූ කෘති අතර white House Years (1979), Leadership: Six studies in world strategy (2022) යන ද්වය බෙහෙවින් කතාබහට ලක්වූ ඒවාය. එහි එන හෙන්රි කිසින්ජර් හුදු ඇමරිකානුවකුට වඩා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් ඉස්මතු වෙයි.

කිසින්ජර් පවසන, දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රිකයන් අපට සිටියේ නම් චීනයෙන් පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාවත්, ඉන්දියාවෙන් ලහිලහියේ පිරිනැමුණු නිරීක්ෂණ ගුවන් යානයත් පිළිබඳව හටගත් රාජ්‍යතාන්ත්‍රික වියවුල නොවන්නට තිබුණේ යැයි සිතෙන්නට පුළුවන. එසේ නම් රාජ්‍යතාන්ත්‍රික භාවයේ ‘අ’ යන්නවත් නොදත් අය අතර එය වූවාදෝයි යන්න හැඟෙන තරමට ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කළමනාකරණය කනගාටුදායක තැනකය.

“හිටපු ජනාධිපතිවත්, අගමැතිවත් නොදැන ඔවුන් දැනුවත් නොකර, චීනයේ සිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආරක්ෂක අමාත්‍යාංශයත් නොමඟ යවා චීන නැව් ගෙන්වා ගත්තාලු. එහෙම නැව් ගෙන්වා ගනිද්දි ඉන්දියාව තරහා වෙන බව මේ අය දන්නේ නැද්ද? චීනයත්, ඇමරිකාවත්, ඉන්දියාවත් ඇතුළත් බල තරගයේ, අරගලයේ අහිතකර තත්ත්වයක් ඇති වුණේ ඒක නිසාලු. මෙහෙම එක එක උන්දැලාට ඕන හැටියට තීන්දු තීරණ ගන්නට ගියොත් රටක් ඉතිරි වේවිද?”

රටතොට කතා බහට ලක් වෙන දේ සරල අවබෝධයක් ඇති ජනතාවට දැනෙන්නේ එසේය. මේ කියන විධියට එය එසේ වී නම් රාජ්‍ය පාලනයේ අනෙකුත් දෑ සිදුව තිබෙන්නේද මෙවැනි තත්ත්වයක් හරහා දැයි ඕනෑම කෙනකුට සිතෙනු ඇත.

හෙන්රි කිසින්ජර්ගේ උක්ත කෘතිය කියවන ඕනෑම දේශපාලන මතයක සිටින්නකුට වුව හැඟෙන එක් දෙයක් මෙසේ යැයි කිව හැකිය.

“නිලධාරීන් දෙන උපදෙස් එයාකාරයෙන්ම පිළිගන්නට තරම් රාජ්‍ය නායකයන් දුර්වල වුණොත් එය අතිශය භයානකයි. තීරණයක් ගනිද්දී එය හැම පැත්තකටම බලපාන ආකාරය ගැන සිතා, ඒ ගැන දැනුවත්, විශේෂඥයන්ගේද අදහස් විමසා අනාගතයටත් බලපාන ආකාරය ගැන සිතා ඉතා විශ්වාසවන්ත උපායශීලී දූරදර්ශී තීරණම ගන්න ඕනෑ. බුද්ධි මණ්ඩලය තනි මිනිහෙක් මත යැපෙන්නෙ නෑ. මත කිහිපයක්. එය විවිධාකාරයි. ඒ හරහා පෙනෙන සත්‍ය නිවැරදිම නම් තමයි තීන්දුවත් නිවැරදි වෙන්නෙ. නැත්නම් එක එක මිනිසුන්ගෙ අනුවණ තීරණ නිසා රාජ්‍ය නායකයාත් අමාරුවේ වැටෙනවා. රටත් අනතුරක වැටෙනවා.”

1973 සැප්තැම්බර් 22දා දිවුරුම් දුන් හෙන්රි කිසින්ජර් ඇමරිකානු නායකයන් රැසකගේම පැටිකිරිය දන්නා ප්‍රායෝගික මිනිසෙකි. ඔහු මෙම කෘතියෙහි දක්වන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඇතැම් නායකයන් ගත් අනුවණ තීන්දු තීරණ නිසා වූ මහත් වූ විපත්ද තිබුණු බවකි. ඒ සඳහා පරිචයක් ලබන්නට හෙන්රි කිසින්ජර්ට හැකි වූයේ ඔහු 1969 ජනවාරි 20දා සිට නොවැම්බර් 3 දක්වා ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු සඳහා සහකාර නිලධාරියා ලෙස කටයුතු කර තිබීම නිසාද විය හැකිය.

අදාළ තනතුරට ගැළපුණු, දුරදිග හිතන, විශිෂ්ට ගණයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ නිසාම කිසින්ජර්ව, ජනාධිපති රේගන් විසින් 1983දී මධ්‍යම ඇමරිකාව පිළිබඳ ජාතික ද්විපාර්ශ්වික කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නේ නිකමටම නොවේ. ඔහු අදාළ විෂයයට අවැසි දැනුම හඹා යන, එම විෂයයෙහි ප්‍රායෝගික නිපුණයකු වූ නිසාම ඇමරිකානු ජයග්‍රහණ වෙනුවෙන්ම ඔහුගෙන් වන සේවය කැපී පෙනුණේය. එය කෙතරම්ද කියතොත් ඔහු ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ බුද්ධි උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද පත් කළේය. තවදුරටත් ඉහළට යන ඔහු 1986-1988 දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ දිගු කාලීන උපාය මාර්ග පිළිබඳ කොමිසමේ සාමාජිකයකු ලෙස විශිෂ්ට කාර්යභාරයක් ඉසිලුවේය. 2001 සිට 2016 දක්වා ආරක්ෂක ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයකුද වූයේය.

කිසින්ජර්ලා වැනි අය නැති ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී කෙතරම් රික්තයක් තිබෙන්නේ දැයි රට තොට ජනතාව කියන කතා ඇහෙද්දී සිතෙන්නේය. ඉන් එකක් මෙසේ සාරාංශ ගත කිරීම වැදගත්ය.

“මොකක්ද මේ විහිළුව? චීන නැවට එන්න අවසරයක් දුන්නා කිව්වා. ඊට පස්සේ හපොයි නැව ආවොත් ඉන්දියාව තරහ වේවිනේ කියලා කිව්වා. ඉන්දියන් මාධ්‍ය ලංකාවට රිදෙන්නත් දුන්නා. ඉන්දියානු නායකයොත් කලබල වුණා. චීන නැව එන එක නතර කළෙත් නෑ. හිටි ගමන් ලංකාව කිව්වා අනේ දැන්ම එන්න එපා. ගමන පමා කරන්න කියලා. චීනේ රතු කට්ට පැන්න නිසා අප නැව එන එක නැවැත්තුවේ නෑ. ඉන්දියාව ආයෙත් අනතුරු හැඟෙව්වා. ආයෙත් අපි කියපු නිසාද මන්දා චීන නැව ලංකාව දිහා බලාගෙන අෑත දියඹේ නතර කරන් හිටියා. චීනෙයි ඉන්දියාවයි එකට එක කියන්නා වගේ පරස්පර මත පළ කළා. චීන නැව නතර කළොත් IMF ආධාර ගන්නත් බැරි වෙනවා කිව්වා. ඉන්දියාවත් රත් වෙලා. චීනයත් කඩුව අරන්. අන්තිමට නැවට එන්න දෙන්නම වුණා. ඒත් එක්ක ඉන්දියාව එකට එක කළා වගේ සමුද්‍රීය පරීක්ෂණ යානයක් ලංකාවට දීලා පෙන්නුවා. උඹලා චීන නැව් ගෙන්න ගත්තත් අපි ඒ නැවේ ඒ තොරතුරුත් හොයා ගන්නවා කිව්වා. මේක තනිකරම චීනෙත්-ඉන්දියාවත් එක්ක කතා කරලා කලින්ම ගැටලුවක් එන්න නොදී අපට ගොඩින්ම බේරාගන්න තිබුණු දෙයක්. මොනවා වුණත් මේ තත්ත්වය ඒ හැටි ගුණ නෑ.”

ඒ හැටි ගැඹුරු රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන් ගැන නොදන්නා මේ සාමාන්‍ය ජනතාව එහෙම කියනවා නම් ඒ වගවත් නොතේරෙන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිටී නම් ඒ අය කෙතරම් බූරු රැළක් දැයි සිතෙනු ඇත.

විදේශ කටයුතු පිළිබඳව පරතෙරට හැදෑරූ කිසින්ජර්, ඔහුට එම කටයුතු සියල්ල පූර්ණ කර ගන්නට හැකි වූයේ ප්‍රායෝගික අත්දැකීම් හරහා පැමිණි දුෂ්කර ගමන් මඟ නිසා බැව් කිසින්ජර් කිහිපවතාවකම මාධ්‍යට කියා තිබුණේය. ජර්මනියේදී ‘ජර්මන්කාරයකු’ ලෙස ඉපදුණු ඔහු 1943 ඇමරිකාවට පැමිණ එහි පුරවැසියකු බවට පත්වූයේය. උපතින් ඇමරිකානුවකු නොවූ නිසා ඔහු ජර්මනියේ උපත ලද ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ ජානමය සම්භවය ඇත්තකු සේ කැපී පෙනුණේය. මතු වී උඩට ආවේය. ඒ ඔහු සතු බුද්ධිමත් බව හා වඩාත් ප්‍රායෝගික මෙන්ම උපායශීලී බවද නිසාවෙනි. 1943 සිට 1946 දක්වා ඔහු යුද හමුදාවේද සේවය කොට ඇත්තෙකි. හමුදාවට ගිය තවත් එක් විශ්‍රාමිකයකුව කටමැත ‍ෙදාඩවන දේශපාලකයකු නොවූ කිසින්ජර් උගත්කමින්ද සම්පූර්ණ වන්නට ඉටා ගත්තෙකි. ඒ නිසාදෝ හාවර්ඩ් කොලීජියෙන් ලබා ගත් එම්.ඒ. සහ පී.එච්.ඩී. උපාධි ඔහුගේ දිවි මඟ සරසන්නට ආධාරක වූ ඒවා බවට පත් විය.

1923 මැයි 27දා උපත ලද මේ ප්‍රායෝගික මිනිසාට වයස 99කි. තවමත් හෙතෙම කීර්තිමත් රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකි. ලොවට බොහෝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවීණයන් බිහි කිරීමට දැනුම විසල්ව ලබා දුන්නෙකි.

කිසින්ජර්ගේ ප්‍රකට කියමන් කිහිපයක් අතර මේවා ප්‍රමුඛය.

“සතුරා කෙසේ දැයි දැනගන්නට ඔබ සතුරකුගේ චින්තාවන් හඳුනාගත යුතුයි. එහි අදහස නම් පරපෝෂිතයකුට වුව සතුරකු සිටිය හැකි බව සිතා ගැනීමය. එසේම එම ගමනේදී මධ්‍යස්ථ බව ගුණයක් බවට පත්වන්නේ ඕනෑම විටෙක කිසියම් දෙයක විකල්පයක් ඇතැයි සිතන අය තුළය. බලයද එසේමය.”

කිසින්ජර් කියන අදහස් සමඟ ඔහු ඇමරිකානුවකු යැයි සිතාන ඔබ එකඟ නොවිය හැකි මුත් ඉන් මතුකර පෙන්වන ගැඹුරු අදහස් අපට එකහෙළා බැහැර කරන්නටද බැරි තරම්ය. මේ කිසින්ජර්ගේ තවත් අදහස්ය.

“කිසියම් ජාතියක් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ කලාතුරකිනි. එයින් ඔවුන් නිවැරදි නිගමනවලට එළැඹෙන අවස්ථාද දුර්ලභය. රාජ්‍යයද බිඳී යා හැකිය. එහෙත් සදාචාරාත්මක සීමාවන් මත එම රාජ්‍යයේ පැවැත්ම අවධානයට ලක් කිරීමට රාජ්‍ය පාලකයාටද සදාචාරාත්මක අයිතියක් නොමැත්තේය.”

කෙසේ වෙතත් ඔහු විසින් රචිත On China කෘතියේදී ඔහු සිය පුළුල් නිරීක්ෂණ බුද්ධිය මෙහෙයවා කළ වෙසෙස් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයන් කිහිපයක් විස්තර කරයි. චීනය එහිදී ඔහුට ප්‍රමුඛය. දශක ගණනාවක් බටහිරත් සමඟ මෙන්ම චීන්නු සමඟ වූ සමීපතා හා සාකච්ඡාවල ගැඹුර ඉන් ධ්වනිතය. එනිසා නවීන සබඳතා හැඩගස්වා ගැනීමට උදවු කළ රටකට පළමුවරට ඔහු ගොස් කළ දෑ විචිත්‍රවත්ව දක්වයි. එහි ඇති විශේෂය නම් වසර හතළිහක් පුරා චීන නායකයන් සමඟ ඔහු කළ සංවාද මත පදනම්ව චීනය සිය ඉතිහාසය පුරා රාජ්‍යතාන්ත්‍රිකත්වය, උපායමාර්ගිකත්වය හා සාකච්ඡා වෙත ප්‍රවේශ වූ ආකාරය දැක්වීමය. එම විමර්ශනයට අනුව ගෝලීය බල තුලනයේ ප්‍රතිවිපාකද ඔහු පෙන්නුම් කරයි.

ඔහු එහිදී කිසියම් දැක්මක් ඉස්මතු කරයි. එනම් වෙනත් කිසිම රටකට චීනයේ පැරණි අතීතයට සහ සම්භාව්‍ය මූලධර්මවලට වඩා බලවත් සම්බන්ධයක් හිමි විය නොහැකි බව පැහැදිලිව දක්වන ඔහු ඕනෑම රටක් සිය උත්සාහය වශයෙන් කිසියම් කටයුත්තක් ඇරැඹිය යුත්තේ නම් එම රටේ දීර්ඝ ඉතිහාසය අගය කිරීමෙන් බව කියයි.

කිසින්ජර් ඇමරිකානු මතවාදය පෝෂණය කරන්නෙකැයි ඇතැමුන් අවමන් කළේ වුවද ඔහු චීනය පිළිබඳව මධ්‍යස්ථව කළ දැක්මක්ද වෙයි. එය මෙසේය.

“චීනයට සන්සන්දනාත්මක ප්‍රමාණයෙන් සහ නවීනත්වයෙන් යුත් වෙනත් සමාජ හමුවූයේ කලාතුරකිනි. එය ‘මධ්‍යම රාජධානිය’ වූ අතර එකී පරිධියේ සිටි ජනයා යටත් රාජ්‍යයන් ලෙස සැලකීය. ඒ අතරම, පිටතින් ආක්‍රමණවල තර්ජනවලට මුහුණදෙන චීන රාජ්‍ය නායකයන් සහ තරගකාරී කණ්ඩායම්වල තරග ඇතුළත, උපායමාර්ගික චින්තනයේ තත්ත්වයන් වර්ධනය කරන ලද අතර එය සූක්ෂ්ම බව, ඉවසීම යන ගුණාංගයන් සටන් දක්ෂතාවන්ට වඩා අගය කරන ලද්දේය.”

එබැවින් ලෝකය විනිවිද දකින දැනුමින් පිරි මිනිසුන්ට තමන්ගේ රාජ්‍යය නිවැරදි දිශානතියට රැගෙන යෑමට හැකියාව ඇත. එම දැක්ම දවසෙන් දෙකෙන් ‘බේ‍රායිලර් කුකුල්ලු’ හදාගන්නාක් මෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් හදා ගන්නට බැරිය. දැනුමින් පිරි තැනැත්තාට ඕනෑම රාජ්‍යතාන්ත්‍රික අභියෝගයක් ජයගත හැකි දර්ශනයක් නිසඟයෙන්ම උපදින්නේය.  ඔහු හෝ ඇය තමන්ගේ රාජ්‍ය නායකයා කෙතරම් බූරුවකුව හැසිරුණද ඔහුගේ බූරු බව නසා, මනස හදා නිවැරදි තීන්දුවක් වෙත රැගෙන යන්නට දක්ෂකම් ඇත්තේය. අතීතයේ සිට අපට බොහෝ තැන්වල සිටියේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් නොව බූරුවන්මය.

කිසින්ජර් ඇමරිකානුවකු වුවත් ඔහුගෙන් උගත යුතු පාඩම් විසල්ය. රාජ්‍යතාන්ත්‍රිකයන් නොවන බූරුවන් වෙත්නම් උන්ට කියන්නට ඇත්තේ හෙන්රි කිසින්ජර්ලා කියවපල්ලා කියලාය.

සජිත් රෝහිත ලියනගේ