“ගෝඨාභයට පිටරට හැංගිලා ඉන්න ඉඩ දෙන්න බෑ” – ඇමති ප්‍රසන්න

0
289

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එමෙන් ම ඔහු එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කළේ ය.

මහනුවරදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (අගෝ. 19) මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේ ය.

“මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතු යි. ඔහු තමන්ගේ අමෙරිකානු පුරවැසිකම අත්හැරල මේ රටට සේවකයන් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිල ඉන්න ඉඩ දෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්.

ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරල ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ වගේ ම ඉතා ම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර්කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ගන්න කියලත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා. මොකද මේ ප්‍රශ්නය තව දුරටත් ඇදෙන්න දෙන්න බැහැ. රට ඩොලර් අර්බුදයයකට මුහුණ දීල ඉන්නෙ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා.

අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145ක් ඉන්නවා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජන්දයේදී ජන්දය පොදුජන පෙරමුණේ ජන්ද125 ට වැඩි ප්‍රමාණයක් ලැබුණා. රටේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක්.

ඒ වගේ ම, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත්ත බහුතරය අද විපක්ෂය නියෝජනය කරනවා. ඉකුත් ආණ්ඩු කාලයෙ ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය වගේ පක්ෂ හිටියේ වත්මන් ජනාධිපතිවරයා සමඟයි. ජනාධිපතිවරයා සමග වැඩ කිරීම අපිට වඩා ඔවුන්ට පහසුයි.

සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවකට සහය ලබා දෙනවා නම් සද්භාවයෙන් ඒකට සහය ලබාදෙන්න කියල අපි විපක්ෂ නායකතුමාට මීට කලින් කිව්වා. ඒ සඳහා ඇමතිකම් අතහැරල කැපකිරීම් කරන්න අපි සූදානම්.”

එමෙන් ම, පිහිටුවන ලබන ආණ්ඩුවේ අමාත්‍යවරුන් පත්කිරීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් නම් කිරීමේ බලය පක්ෂවලට ම ලබා දීමට තීරණය කර ඇතැයි ද රණතුංග මහතා එහිදී වැඩිදුරට ත් පැවසීය.