CIDය අත්අඩංගුවට ගත් මර්වින් අධිකරණයෙන් මුදාහරී

0
195

හංසි නානායක්කාර

වසර පහළොවකට පෙර රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වූ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන අය මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (18දා) නියෝග කළේය.

කැලණියේ හරක් මැරීම නතර කළ මෙම  සැකකරු හට ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා  ලබන නොවැම්බර් මස 16 වැනි දින  අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බවට සඳහන් කරමින් සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන අය මුදාහැරීමට නියම කළේය.

සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිඥවරුන් විසින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුට ඇප ලබා දෙමින් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කළේය.

මෙම සැකකරු විසින් මීට වසර පහළොවකට පෙර එනම් 2007 වසරේදී රූපවාහිනි සංස්ථාවට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවත් ඒ අනුව සැකකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව සැකකරු  අධිකරණය හමුවේ ඉදිරිපත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම සිද්ධිය වූ අවස්ථාවේදී තම සේවාදායකයා විසින් රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා හමුවීමට ගොස් ඇති බවත් එහිදී වෘත්තීය සමිති නායකයන් විසින් සේවකයන් කලබලයට පත් කරමින් තම සේවාදායකයාට පහරදීමට සැලැස්සූ බවත් ඒ අනුව ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක්ද සිදුකර ඇති බවත් මේවන තෙක් එම පැමිණිල්ල විමර්ශනය කර නොමැති බවත් නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් තම සේවාදායකයා අධිකරණය මඟහැර නොයන පුද්ගලයකු බැවින් ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා   සැකකරුට ඇප ලබාදීමක් අවශ්‍ය නොවන බවට සඳහන් කරමින් සැකකරු මුදාහැරි අතර ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නේය.

2007 වසරේ රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන අයට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි.

ඒ අනුව මෙම නඩුව නැවත ලබන නොවැම්බර් මස 16 දින කැඳවීමට නියමිතය.