සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවල සිදු වී ඇති දූෂණ සොයන්න කොමිසමක් පත් කරන්න

0
24

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ඔෟෂධ නියාමන අධිකාරිය (NMRA), රාජ්‍ය ඔෟෂධ සංස්ථාව (SPC) සහ රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව (SPMC) යන ආයතනවල ඉකුත් දෙවසර තුළ සිදුවී ඇතැයි පෙනී යන දූෂණ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙකී ආයතන තුනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පසුගිය සමයේ ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වූ බවත්, දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධ ඍජු චෝදනා එල්ල වූ බවත් පෙන්වා දෙන එම වෘත්තීය සමිති සන්ධානය මේ පිළිබඳ විධිමත් සොයාබැලීමක් සිදු කළ යුතු බවද පෙන්වාදී ඇත.

විශේෂයෙන්ම ඔෟෂධ නියාමන අධිකාරිය මඟින් තත්ත්වයෙන් බාල ඔෟෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමත්, අසාදු ලේඛන ගත කර ඇති සමාගම්වලට වක්‍රාකාරයෙන් තාවකාලිකව බලපත්‍ර ලබා දීමත්, රට තුළ පවතින ඔෟෂධ හිඟය මුවාවෙන් හදිසි මිලදී ගැනීම්වලට යොමුවීමත් පසුගිය සමයේ සිදුව ඇතැයි පෙනී යන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ‘මව්බිම’ට ඊයේ (18දා) පැවැසීය.

එමෙන්ම ඔෟෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හදිසියේ අක්‍රිය වීම සම්බන්ධවද විවිධ මත පළ වී ඇති අතර එහි පාරදෘශ්‍යභාවය ප්‍රශ්නකාරී වී ඇතැයි සභාපතිවරයා කීවේය.

රාජ්‍ය ඔෟෂධ සංස්ථාවටද කොවිඩ් සමයේ එන්නත් ගෙන්වීමේ අක්‍රමිකතා හා එහිදී ටෙන්ඩර් හා මිලදී ගැනීම් පිළිබඳ චෝදනාද රැසක් එල්ල වූ බව කී චමල් සංජීව මහතා උග්‍ර ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ පවා අතරමැදියන්ට විශාල කොමිස් මුදල් ගෙවමින් පවතින බවද සඳහන් කළේය.

එකම ඔෟෂධය තුන් වතාවක් ‍ෙදාරට වැඩීම මෙම දූෂණ වංචාවල කූටප්‍රාප්තියකැයිද මේවා සම්බන්ධ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම සැලකිය යුතු විසඳුමකැයි සිතන බැවින් එසේ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයිද හෙතෙම සඳහන් කළේය.  

විනීතා එම්. ගමගේ,

මත්තල – ඩී.එන්. ජයසේකර