සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔෟෂධ ගෙන්වීමට නිසි වුවමනාවක් නැහැ

0
14

මහා භාණ්ඩාගාරයේ මුදල් තිබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔෟෂධ ගෙන්වීමට නිසි වුවමනාවක් නොමැති බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

තවදුරටත් ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඔෟෂධ හිඟයක් පවතින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ‘මව්බිම’ට පැවැසීය.

මහා භාණ්ඩාගාරය මඟින් මුදල් වෙන්කර ඔෟෂධ ගෙන්වීම නිසි වේලාවට නොකරන බැවින් පෞද්ගලික අංශයට ඔෟෂධ ගෙන්වීමේ අධිකාරිය පැවරී ඇති බවත් එයින් කොමිස් කුට්ටි ලබා ගැනීමේ ජාවාරම දිගින් දිගටම සිදුවන බවත් හෙතෙම  පැවැසීය.

ඒ අනුව වේදනා නාශක ඔෟෂධ වර්ග, බෝ නොවන රෝගවලට අදාළ (දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, අධිරුධිර පීඩනය වැනි) රෝගවලට අදාළ ඔෟෂධ, හදිසි ශල්‍ය උපකරණ සඳහා ගන්නා ලද ද්‍රව්‍යවල තවමත් දැඩි හිඟයක් පවතින බවය.

මේ වන විට මහා භාණ්ඩාගාරයේ මුදල් ඇතත් ඔෟෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසියම් පීඩනයක් ඊට නොයොදන බවට මහා භාණ්ඩාගාරයෙන්ම තොරතුරු තමා වෙත ලද බවද වෛද්‍යවරයා පැවැසීය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය කුමක් පැවැසුවද තවදුරටත් ඔෟෂධ ගණනාවක හිඟයක් රට තුළ පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්