විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම ඇමැතිගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් 

0
18

සත්ත්ව ආහාර සඳහා ආනයනය කරන බඩඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම ඇමැතිවරයා  අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා හා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි වෙළෙඳ පොළේ මිලදී ගැනීමේ ගැටලුසහගත තත්ත්වයක් පවතින බැවින් මෙම තීරණයට එළැඹි බව අමාත්‍යාංශය පවසයි.

සත්ත්ව ආහාර අවශ්‍යතාව සඳහා බඩඉරිඟු හා  සෝයා ආනයනය කිරීමට ආනයන හා අපනයන පාලක අංක 01/1969 දරන පනතේ  විවෘත ගිණුම් ක්‍රමවේදය යටතේ බඩඉරිඟු හා සෝයා ආනයනය සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කර තිබේ.

ඒ අනුව රජය පසුගිය ජුනි 24 වැනිදා අංක 2285/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට ඇතුළත් කර ඇති ආනයනය කළ හැකි අයිතම ලැයිස්තුවට බඩඉරිඟු හා සෝයා ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරන බවද කෘෂිකර්ම ඇමැති  මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

සත්ත්ව ආහාර හිඟය නිසා දියරකිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්ව සිටින බවත් ජනතාවගේ පෝෂ්‍ය තත්ත්වයන් නංවාලීම සඳහා අවශ්‍ය සත්ත්ව නිෂ්පාදන ධාරිතාවන් ද මේ වනවිට පහළ ගොස් තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු හා සෝයා ආනයනය කිරීමට පියවර නොගතහොත් එම කර්මාන්තය බිඳ වැටීමත්, රටේ මහජනතාවගේ පෝෂණ තත්ත්වයන් පවත්වාගෙන යෑමට බරපතළ තත්ත්වයක් උද්ගතවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතු දත්ත අනුව 2022 වර්ෂයේ දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්ද, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද පහළ ගොස් ඇතැයි ද අමාත්‍යාංශය පෙන්වාදී ඇත.

 පසුගිය වසරේ මහ කන්නය තුළ ගොවීන්ට වගාව සඳහා රසායනික පොහොර ලබානොදීම නිසා එම කන්නයේ බඩඉරිඟු වගාවෙන් ලැබුණු අස්වැන්න සියයට 20 දක්වා අඩුවී ඇති අතර  මේ නිසා සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු හා සෝයා නොලැබීම හේතුවෙන් අප රටේ දියර කිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයට බරපතළ බලපෑමක් මේ වනවිට එල්ල වී තිබෙන බවද සඳහන් කර ඇත.

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ කෘෂිකර්ම අමාත්‍යවරයා සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ පළමු කාර්තුවේදී බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 134,150ක්ද, දෙවැනි කාර්තුවේ දී මෙටි්‍රක් ටොන් 70,250ක්ද ආනයනය සඳහා බලපත් දීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහෙත් පවතින විදේශ විනිමය හිඟය හමුවේ එසේ ආනයනය කිරීම සඳහාද යම් බලපෑම් එල්ලවී ඇති බවද පවසා ඇත.

නිර්මාණි ගුණරත්න