වරෙන්තු පිට සිටි අන්තරේ වසන්ත ඇතුළු 12ක් අත්අඩංගුවට

0
63

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ‍ෙදාලොස්දෙනෙක් (12) ඊයේ (18දා) කොළඹදී පැවැති විරෝධතාවක් අතරතුරදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය  නියෝජනය කරන භික්ෂුන් වහන්සේ කිහිප නමක්ද වන බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (18දා) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ සිට විරෝධතා පාගමනක නිරත විය.

ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙසින්, නවලෝක මංසන්ධිය දෙසට පැමිණෙන විට සිසුන් එන මඟ අවහිර කරමින් පොලිස් නිලධාරීන් එක්ව මිනිස් දම්වැලක් අයුරින් රැඳී සිටින අයුරු දක්නට ලැබුණු අතර ඉදිරියට යෑමට පැමිණි සිසුන් ජල හා ක¾දුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

 දිගින් දිගටම සිසුන් පසුපස පන්නමින් ඔවුන් බොරැල්ල දෙසටම විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර බොරැල්ල මංසන්ධියට පැමිණි සිසුන් එහි පදික වේදිකාවේ බිම වාඩි වී විරෝධතා පාඨ කියමින් විරෝධය පළ කරන අයුරු දක්නට විය.

විරෝධතාව විසුරුවා හරින අතරතුර විරෝධය පළ කිරීමට එක්ව සිටි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි හා තවත් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර පසුව ජෙහාන් අප්පුහාමිව මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබේ.

විරෝධතාවට එක්ව සිටි භික්ෂුන් වහන්සේ දෙනමක් බස් රථයක නැඟී ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් එම බස් රථයට නැඟ උන්වහන්සේ දෙනම අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

විරෝධතාව විසුරුවා හැරීමේදී යතුරුපැදියක නැඟී ගෑස්පහ මංසන්ධිය දෙසට ගමන් කරමින් සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය. වරෙන්තු දෙකක් නිකුත් කර තිබියදීත් ඔහු අධිකරණය මඟහරිමින් සිටි අයකු බවද එම ආරංචි මාර්ග කීය.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ (18දා) රාත්‍රියේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ.

ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු, ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා, හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ, ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි  වහා විවෘත කරනු, මර්දනය නවතනු, අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු, ඉදිරි ජනතා ජයග්‍රහණ සඳහා මහජන කවුන්සිලය ගොඩනඟමු ආදී සටන් පාඨ කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව මෙසේ විරෝධතාවක නිරත වූහ.

කීර්ති මෙන්ඩිස්, සවනි ශේශාධි