රනිල් කියන්නේ වසර 25කට වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති රාමුවක් හදමු කියලා

0
13

එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් රට ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්ව වසර 25කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසයි.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් පෙරේදා (17දා) වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

රට පත්ව තිබෙන මේ ව්‍යසනයෙන් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කරනවා. එතුමට වසර 50ක දේශපාලන අත්දැකීම් තිබෙනවා. එතුමා 6 වතාවක් මේ රටේ අගමැති හැටියට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පසුගියදා එතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් කියලා.

ඇත්තවශයෙන්ම 2000දී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණා. ඒ මැතිවරණයෙන් පත්වුණු ආණ්ඩුව අවුරුද්දකින් විසුරුවා හරින්න සිදුවුණා. 2001 නැවත එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ බලය ලබා ගත්තා. අපි බලයට පත්වන විට වරායට අධිභාර පනවලා තිබුණා. ගුවන්තොටුපොළට අධිභාර පනවලා තිබුණා. ඒවා සියල්ලම වෙනස් කළා. අපේ කර්මාන්තශාලාවලට ප්‍රශ්න ඇතිවෙලා තිබුණා.

ඒ සියල්ල පාලනය කරලා ජපානයේ මහා සමුළුවක් කැඳවලා ලංකාවට ආධාර ගන්න ක්‍රමවේදයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රට ඉදිරියට ගෙනියන්න හදනකොට විශාල ප්‍රහාරයක් එල්ල කරලා ජාති වාදය, ආගම් වාදය වපුරලා 2004 අප්‍රේල් 10 ආපසු එවකට තිබුණු ආණ්ඩුව පෙරළලා දැම්මා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 වගන්ති අනුව රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම කියන පිටු දෙක දැන් වෙනස් කරන්න කාලේ හරි. ඇයි? එක එක්කෙනාට දේශපාලන පක්ෂයවලට ඕන විධියට ප්‍රතිපත්ති මාරු කරන්න ඉඩ නොදිය යුතුයි. මෙන්න මේ වැරැද්ද දැකලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ අපි වසර 25 කට වෙනස් කරන්න බැරි ප්‍රතිපත්ති රාමුවක් හදමු කියලා.

ඇතැම් අය කියනවා අවුරුදු 74ක් තිස්සේ අපිට වැරදුණා කියලා. එහෙම එකක් නැහැ. ඒක බොරු කතාවක්. 1977න් පසුව රටේ ආර්ථිකය වෙනස් කරලා රට ඉදිරියට ගෙනියන්න එක්සත් ජාතික පක්ෂයට හැකි වුණා. අද ලංකාවේ මෝටර් බයිසිකල් ලක්ෂ 60ක් පමණ තියෙනවා. ත්‍රි රෝද රථ ලක්ෂ 15ක් විතර තියෙනවා. යාන වාහන තියෙනවා තව ලක්ෂ 200ක් පමණ. මේ තත්ත්වය ඇති කරලා ලෝකයට රට විවෘත කරලා තරුණ තරුණියන්ට ලෝකයට ගිහින් තාක්ෂණය අරන් එන්න පුළුවන් පාර කැපුවේ 77න් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්.

77න් පස්සෙ ගමේ ඉන්න ඕනෑම තරුණයකුට ජපානයට යන්න, කොරියාවට යන්න, එංගලන්තයට යන්න, ඇමරිකාවට යන්න, යුරෝපයට යන්න පාර කැපුවා. හැබැයි ඒ ළමයින්ට අවබෝධයක් නැහැ අපිට පිටරටවලට යන්න පාර කැපුවේ එජාපයේ ආර්ථික දර්ශනය නිසානේ කියලා. ඒ අය ඒ ආර්ථික දර්ශනය විනාශ කිරීම සඳහා නොදැනුවත්ව ක්‍රියා කරමින් සිටිනවා.

කෙසේ හෝ මේ ඛේදවාචකයෙන් ගොඩගන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා.

මං දැක්කා එතුමා ජාත්‍යන්තර පුවත්පත් සේවයකට කියලා තිබුණා ගිය මාසයේ 9 වැනිදා කලබලය ඇති නොකළා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණය මේ මාසේ මුලදී ගන්න තිබුණා කියලා. දැන් ඒක මේ මාසයේ අගට කල් ගියා. ඒ නිසා තමයි ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා කලබල කළොත් තවත් ඔබ පීඩාවට පත් වේවි. මාස 6ක් ඉඩ දෙන්න. බලාගෙන ඉන්න.

අද වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරගෙන යන ක්‍රියාවලිය තුළ රටේ ජනතාවට තිබුණු බොහෝමයක් ප්‍රශ්නවලට විසඳුම් ලබාදී තිබෙනවා. පෙට්රල්, ඩීසල් වගේම අවුරුදු 2ක් තිස්සේ මහජනතාව නොදැකපු ගෑස් පවා අද වනවිට ජනතාවට ලැබී තිබෙනවා. අනෙක් ප්‍රශ්නවලටත් මේ වනවිට විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටිනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමැතියි.

සඳුනි ගමාරච්චි