රජයේ මිලට වී දෙන්න ගොවියා සූදානම් නෑ

0
11

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති මිලට වී ලබාදුනහොත් ගොවියාට අක්කරයකින් රුපියල් තිස්දහසක පාඩුවක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවැසීය.

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියාට රුපියල් 145ක මුදලක් වැයවන බව සභාපතිවරයා පැවැසීය.

රජයේ මිලට වී ලබාදීමට ගොවියන් සූදානම් නොමැති බව පැවැසූ හෙතෙම වී කිලෝවකට රුපියල් 150ක මිලක් අවශ්‍ය බව සඳහන් කළේය.

ඇළවේලි සුද්ධ කිරීමේ සිට සියලු වියදම් සැලකීමේදී අක්කරයක වී නිෂ්පාදනය කිරීමට රුපියල් 245,000ක් වැයවන බවද ඔහු කීය.

 සීසෑමේ ට්‍රැක්ටරයට රුපියල් 20,000ක්ද භූතයා යන්ත්‍රයෙන් අක්කරයක ගොයම් කැපීමට රුපියල් 25,000ක්ද අයකරන බව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

අක්කරයකින් වී කිලෝ 1,500ක පමණ අස්වැන්නක් ලැබෙන බවත්, රජයේ මිලට වී විකුණුවහොත් ගොවීන්ට දැරූ පිරිවැය ආවරණය කිරීමටද නොහැකි වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය මහ කන්නයේදී යූරියා කිලෝවක් රුපියල් 33ට මිලදී ගනු ලැබූවද මේ වනවිට යූරියා කිලෝවක මිල රුපියල් 800ක් පමණ වන බවද ඔහු කීය.

ගොවීන්ගේ සියලු වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක රුපියල් 120-130 මුදලට වී ලබාදී නොදීමට බොහෝ ප්‍රදේශවල ගොවීන් තීරණය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ