මිනුවන්ගොඩ පොලිසියට චණ්ඩි පාට් දැමූ හිටපු ශ්‍රී ලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රිට ඇප

0
15

මිනුවන්ගොඩ නගරයේ වාහන පරීක්ෂාවට ලක්කරමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පරුෂ වචනයෙන් බැනවැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 17 වැනිදා නියම කළාය.

සැකකරු නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේදී චෝදනාවලට වරද පිළිගත්තේය. අනතුරුව සැකකරුට තරයේ අවවාද කළ අධිකරණය මෙසේ සැකකරු ඇප මත මුදාහරිනු ලැබීය.

මිනුවන්ගොඩ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරුට මෙසේ ඇප නියම කෙරිණි. සැකකරු ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ හිටපු මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු බවට අධිකරණයේදී සඳහන් විය. මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගුණසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 16 වැනිදා රාත්‍රි කාලයේදී මිනුවන්ගොඩ නගරයේ සැකකටයුතු වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිට ඇත.

යතුරුපැදියේ පිටුපස අසුනේ සැකකරු ගමන් කර ඇත. යතුරුපැදිය පොලිස් නිලධාරීන් නවතා තිබේ. පොලිස් නිලධාරීන් යතුරුපැදිකරුගෙන් අදාළ බලපත්‍ර සහ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි අධිකරණයේදී සඳහන් විය.

සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බීමත්කම පරීක්ෂා කිරීම සඳහා මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් නොවී කලහකාරී ලෙස හැසුරුණු බවටද අධිකරණයේදී සඳහන් කෙරිණි.

එකී චෝදනා සියල්ල පිළිගනිමින් වරද පිළිගන්නා බවට නීතිඥ සහායෙන් සැකකරු අධිකරණය හමුවේ පවසා සිටීමෙන් අනතුරුව තරයේ අවවාද කළ අධිකරණය මෙසේ ඇප නියම කරනු ලැබීය.

සැප්තැම්බර් මස 02 වැනිදාට නඩුව නැවත කැඳවීමට නියම කෙරිණි. එදිනට සැකකරුට විරුද්ධව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට අධිකරණයෙන් මිනුවන්ගොඩ පොලිසියට නියම කෙරිණි.

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් නිරෝසන් එදිරිසිංහ (12862) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ