‘මර්දනය’ දිගටම කළොත් ආණ්ඩුවට සහාය දීම ගැටලුවක් වෙනවා

0
23

“අපි පක්‍ෂයක් විධියට හැමදේම අමතක කරලා මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න තීන්දු කරත් මේ මර්දනය දිගින් දිගටම  කරොත් අපිටත් සහායදීමේ ගැටලුවක් ඇතිවෙනවා”  යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි   හර්ෂණ රාජකරුණා පවසයි.

විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“නව ජනාධිපතිවරයා පත් වෙලා මාසයකට ආසන්න කාලයක් ගතවුණා. හැබැයි  සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් බවට පත්වෙලා. අපි පක්‍ෂයක් හැටියට පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සහයෝගය ලබා දෙනව කියලා. මොකද ඇමැතිකම් ගන්න අපිට ඕන කමක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ජනාධිපතිවරයාගෙන් අපි අහනවා එහි වැඩපිළිවෙළ මොකක්ද කියලා. අපි විපක්‍ෂය වෙලා අපේ ආර්ථික වැඩපිළිවෙළ මේ වෙනකොටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැබැයි ආණ්ඩුව තවමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නෑ. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ වැඩපිළිවෙළකට කාල සීමාවක් තියෙන්න ඕන. එම කාලපරිච්ඡේදය පිළිබඳව සඳහනක් කරන්නේම නැහැ. එය මඟ හරිනවා. මොකද අපට දැනගන්න ලැබිලා තියෙනවා පැහැදිලිවම පොහොට්ටුවෙ මන්ත්‍රිවරුන්ට පොරොන්දුවක් දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියලා. අපි මේ වෙනකොටත් සූදානම් පාර්ලිමේන්තුව විසුරවන්න. මොකද අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ තියෙන්නේ රටේ ජනමතය නෙමෙයි. එය විකෘති වෙලා. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් අත්‍යවශ්‍යයි.

ජනාධිපතිවරයාට තියෙනවා මාර්තු මාසේ වෙනකොට අවුරුදු දෙක හමාරක් ගත වුණාට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවන්න බලය තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජනතා මතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් සෑදිය යුතුයි. ඒ කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය යුතුයි. ඒ කාලය තුළ සර්වපාක්ෂික වැඩපිළිවෙළකට අපි සහාය දෙන්න සූදානම්. හැබැයි දැනටත් ජනාධිපතිවරයා මාසයක් ගත කර තියෙනවා. කතා සාප්පුවක් බවට පත් කරන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඇමැතිකම් ලබා ගත යුතුමද. ඊළඟ ප්‍රශ්නය ඒක. සර්වපාක්ෂික ආණ්ඩුවකට, සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සහයෝගය දෙනවා කියන්නේ ඇමැතිකම් ලබා ගත යුතු දෙයක්ද? සමහරක් පිරිසට ඇමැතිකම් ගන්න පුදුම වුවමනාවක්, ආසාවක් තියෙනවා. සමහරක් අය ඉන්නවා විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා. නමුත් ඒගොල්ලොන්ගේ නියෝජිතයෝ අමාත්‍ය ධුර අරගෙන ඉන්නේ. ඒගොල්ලන්ගෙ නියෝජිතයෝ අමාත්‍ය ධුර අරගෙන මොකක්ද මේ කරන විහිළුව.

ඒත් මම දැක්කා පුවත්පත් වාර්තා කරලා තියෙනවා සමගි ජන බලවේගය විස්සක් තිහක් සමගි මහ ලේකම්තුමාගේ නමත් දාලා සර්වපාක්ෂික ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතා වගකීමෙන් කියන්නේ මොළය අමාරුකාරයෝ ටිකක් හිටියා. ඊට වඩා මොළය අමාරුකාරයෝ දැන් නැහැ. මොකද මොළේ අමාරුකාරයෝ දැන් ගිහිල්ලා ඉන්නේ. ඒක හින්දා අපිට ඇමැතිකම් ගන්න කිසිම ආසාවක් නැහැ. ඒ ආසාවල් තියෙන පිරිසක් ඉන්නවා. ඒ අය තමයි දැන් ආණ්ඩු පහක විතරක් ඇමැතිකම් අරගෙන ඉන්න සෙට් එක. එදා චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ ඇමැති ,ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ, ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ, 2015 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවේ, යළි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එළවලා දැම්මට පස්සේ දැන් ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේත් ඇමැති. ආණ්ඩු 7ක විතර එක දිගට ඇමැතිකම් දරපු පිරිසක් ඉන්නවා. ඒ අයට පුදුම ජාති ආලයක් තියෙන්නේ. අපිට තේරෙන විදිහට ජාතියට කොහොම වෙතත් ඇමැතිකමට තමයි ආලයක් තියෙන්නේ.

අපි කොහොමද ආණ්ඩුවකට ගිහිල්ලා සහයෝගය ලබා දෙන්නේ. ඒ සහයෝගය ලබා දෙන්න කියන ගමන් මේ රටේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වැඩපිළිවෙළක් මේ මාසේ තුළ ක්‍රියාත්මක වෙනවා. මේ මර්දන ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊයේ ප්‍රවීණ ක්‍රීඩකයෙක් වන ජුලියන් බෝලිං මහතාවත් කටඋත්තරයකට සී.අයි.ඩී. එකට කැඳවලා. මේ ආකාරයෙන් සෝෂල් මීඩියා හරහා මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන, අරගලය සම්බන්ධව කතා කරන සිය ගණනක් මේ වෙනකොට මර්දනය කරලා. එම නිසා මර්දනකාරී විදියට හැසිරෙන්න එපා කියලා ජාත්‍යන්තර සංවිධාන රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් රනිල් රාජපක්ෂ වෙලා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව මුල්වෙලා ගත්ත GSP ප්ලස් ආධාරය නැති කරගන්නද යන්නේ.  මොකද අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාත්මක වෙන්නේ රනිල් රාජපක්ෂ විධියට. එය පොහොට්ටුවේ මන්ත්‍රිවරු සතුටු කරන්න අද මේ මර්දනය ක්‍රියාත්මක කරන්නේ.

අරගලයදී විනාශ වූ දේපළ සහ නිලධාරීන්ට වන්දි ලබාදෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා දැනගන්න ලැබෙනවා. අපි ඉස්සර වෙලා කියනවා කරුණාකරලා මේ වන්දි ටික ලබා දෙන්න ගොවි ජනතාවට.

නිර්මාණි ගුණරත්න