පොදු යහපත අරමුණු කරගත්තා මිස ඇමැති පවසන ලෙස අරගලකරුවන් ගාලුමුව‍ෙදාරට සිතාමතා හානියක් කළේ නෑ

0
13

අරගලකරුවන් රැඳී සිටි ගාලුමුව‍ෙදාර භූමියට හානි සිදුව ඇතැයි කියමින් අරගලකරුවන්ගෙන් වන්දි අයකරන බවට නාගරික සංවර්ධන ඇමැතිවරයා මාධ්‍යයට අදහස් දක්වා තිබුණද එසේ වන්දි ගෙවීමට අරගලකරුවන්ට හැකියාවක් නැතැයි ගාලුමුව‍ෙදාර අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයකු වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පැවැසීය.

වන්දි ලෙස අරගලකරුවන්ට ලබාදිය හැක්කේ තම ජීවිත පමණක් බවද ජාතික සංවිධායකවරයා සඳහන්  කළේය. අරගලයට දායක වූ වැඩි පිරිසක් සාමාන්‍ය පවුල්වල තරුණ තරුණියන් බවත් ඇමැතිවරුන්ට මෙන් ඔවුන්ට ධනය නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

උද්ඝෝෂණ සඳහා වෙන්කර තිබූ ගාලුමුව‍ෙදාර භූමියේ  තණකොළ නොපාගන ලෙස හෝ තාවකාලික ඉදිකිරීම් නොකරන ලෙසට පුවරුවල සටහන් කර නොතිබූ බවද හෙතෙම කීවේය.

ඇමැතිවරයා පවසන ආකාරයට අරගලකරුවන් එම භූමියට හානියක් නොකළ බවත්, සෑම විටම පොදු යහපත අරමුණෙහි තබා කටයුතු කළ බවත් ගුණසේකර මහතා පැවැසීය.

අවස්ථාවාදීව දේශපාලනය මාරු කරන දේශපාලනඥයන් සිටින රටක ගාලුමුව‍ෙදාර අරගලකරුවන් රටට කළ සාධනීය කාර්යභාරය නොසලකා හැරිය නොහැකි බවද ඔහු කීය.

දේශපාලනඥයන් පවසන ආකාරයට වන්දි දීමට අරගලකරුවන් සූදානම් නැති බවත් ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ