නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් වාර්තාව එළිදක්වයි

0
15

මධ්‍යම සංස්කෘතික අරමුදල මඩකළපුව නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ කළ කැණිම් වාර්තාව එළි දැක්වීම ජාතික උරුම, ප්‍රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

එම වාර්තාව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ විසින් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත පිළිගන්වන ලදී. එම පුරාවිද්‍යා ස්ථානයේ තිබූ පැරැණි ගොඩනැඟිලි, වැව්, ස්තූප සහ ආසනඝර ඇතුළු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් තවත් තොරතුරු රාශියක්  මෙම වාර්තාවට ඇතුළත්ය.

කෝරලේපත්තු බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වඩමුනේ ග්‍රාමසේවා වසමේ පිහිටි නෙළුගල පුරාවිද්‍යා ස්ථානය අක්කර 2000ක භූමි ප්‍රමාණයක පැතිර තිබේ. ඒ අනුව, දැනට කරගෙන යන පුරාවිද්‍යා කැණීම් ඉදිරියටද කරගෙන යෑමට අවශ්‍ය සහයෝගය දෙන බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. ඊට අමතරව අදාළ පුරාවිද්‍යා  ස්ථානයට අයිති ඉඩම සති දෙකක් තුළ මායිම් ගල් අතුරා වෙන් කර අවසන් කරන ලෙසද අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගි වී සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග වෙත නියෝග කළේය.

මේ අතර එම පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කර හැකි ඉක්මනින් දෙස් විදෙස් සංචාරකයන්ට වන්දනාමාන කිරීමට අවශ්‍ය වපසරිය සකස් කර දෙන ලෙස පළාත් ආණ්ඩුකාරවරිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.

මේ අවස්ථාවට පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් හා රාජ්‍ය අමාත්‍ය ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.