ජෙෆ්රි බාවා එපා කියද්දී හැදූ බෙන්තොට ඇවිදින මංතීරුව මුහුදට බිලි වෙයි!

0
20

බෙන්තොට සංචාරක පුරයේ මුහුදු කෑම ඊයේ (18දා) උදේ වනවිට ඉතා දරුණු අතට හැරෙමින් තිබිණි. මේ වනවිට එහි ඉදි කොට තිබූ ඇවිදින මංතීරුවෙන් අඩක් පමණ සැඩ රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබෙනු දැකගත හැකි විය. පෙරේදා දිනයේ බෙන්තොට ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙරළ සංරක්ෂණය මඟින් තදින් මුහුදුකෑ කොටස්වලට වැලි කොට්ට 400ක් පමණ දැමුවද ඊයේ වනවිට ඇතැම් තැන්වල දමා තිබූ වැලි කොට්ට පවා දකින්නට නොලැබිණි.

බෙන්තර ගංතීරයත් මෙම මුහුදු වෙරළත් අතර ඇති පටු බිම්කඩෙහි තරු පන්තියේ හෝටල් කිහිපයක්ද, සංචාරක බංගලාවක්ද, ඊට අමතරව අගමැති විවේක නිවහනක්ද ඇත. මෙම ඇවිදින මංතීරුව ඉදිකෙරුණේ මීට වසර දෙකහමාරකට තුනකට පමණ පෙරය. ඊට පෙර මෙහි තිබුණේ වැලිවලින් පිරි ස්වාභාවික මාර්ගයකි. මෙම සංචාරක පුරයේ ප්‍රධාන සැලසුම් ශිල්පියා වූ දිවංගත ජෙෆ්රි බාවා මහතා මෙහි කෘත්‍රිම මාර්ගයක් ඉදිකරනවාට අකැමැති වූ බවත් මෙහි ස්වාභාවික මාර්ගයක් තිබිය යුතු බවත් යන ස්ථාවරයක සිට ඇතැයි පැවැසේ.

බෙන්තොට _ එම්. මීගහපළ