ජනපති රනිල් ගෙදර යැවීමට පෙර විකල්පය කියන්න

0
12

පසුගිය කාලයේ රට තුළ මතුවූ අරගල රැල්ල පිළිබඳ විවිධ අදහස් උදහස් මතුවෙමින් තිබේ. විශේෂයෙන් ගාලුමුව‍ෙදාර පිටිය කේන්ද්‍රගත වූ විරෝධයේ මුල් අදියර දෙස බලන විට අපට දැකගත හැකිවනුයේ ජීවන අරගලයක ස්වරූපයයි. රටේ නන්දෙසින් මතු වූයේද උද්ධමනය හේතුවෙන් පාරට වැටෙන ජනතාවගේ දුක්ගැනවිල්ලයි. මේ ජනතා දුක්ගැනවිලිවල සාධාරණ පදනමක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. ජීවත්වීමේ අපහසුතා ඇති වූ විට ඕනෑම රටක මිනිසුන් පාරට බැසීම පුදුමයට කරුණක් නොවේ.

එයට හේතුව, ආණ්ඩුවක වගකීම වූ ජනතාවට ජීවන බර අවම කරගෙන ජීවත් විය හැකි සමාජ ආර්ථික දේශපාලනික වටපිටාවක් සැකසීමට අපොහොසත් වීමයි. එවැනි පසුබිමක මෙරට ජනතාව පාරට බැස්සේ ආණ්ඩුවෙන් සාධාරණ විසඳුමක් අපේක්‍ෂාවෙනි. එහෙත් එවැනි විසඳුමක් ලබාදිය නොහැකි තැනට අර්බුදය උඩුදුවා තිබිණි. නිසි අවස්ථාවේ ගතයුතු තීරණ නොගැනීම  සහ සුදුසු පුද්ගලයන් අදාළ තනතුරුවලට පත් නොකිරීම එසේ අර්බුදය උඩුදිවීමට හේතුවිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට භාර ගැනීමට සිදුවූයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් නොවේ. එම නිසා මතුවිය හැකි ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට මූලික මට්ටමේ පියවර රැසක් ගත්තද, කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දුන් විදේශ විනිමය හිඟය මෙම අර්බුදය වේගවත් කළේය. විදේශ විනිමය පරතරය ඉහළ ගියේය. කොරෝනා පළමු රැල්ලෙන් පසු දෙවැනි රැල්ලක්ද මතුවිය.

මේ අතරේ යුක්රේන – රුසියානු යුද්ධය අපේ රට පමණක් නොව සමස්ත ලෝකයේ සැපයුම් ජාලයටම ඉතා අහිතකර ලෙස බලපෑවේය. විශේෂයෙන් අපේ රට වැනි ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති රටකට එමඟින් ඇතිවූ හානිය සුළුපටු නොවීය. මෙම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය විය. ගාලුමුව‍ෙදාරට රැස්වූ කණ්ඩායම් මතුකළ තර්කය වූයේ රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම හැර වෙනත් විසඳුමක් මෙම අර්බුදයට නොමැති බවයි. රාජපක්‍ෂලාගේ බලපෑමෙන් ආණ්ඩුව මිදිය යුතු බව ඔවුන්ගේ තර්කය විය. එම හඬට අවනත වෙමින් අගමැති මහින්ද රාජපක්‍ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. තවද ඇමැතිකම් දැරූ අනෙක් රාජපක්‍ෂලාද ගෙදර ගියහ.

අවසානයේ ජූලි නව වැනිදා අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිස කොළඹ ජනාධිපති මන්දිරය වට කළ විට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලේ වැගිරීමට ඉඩ නොතබා දින කිහිපයකට පසු සිය ජනාධිපති ධුරයෙන් ඉවත් විය. ඉන් පසු ජනාධිපති ධුරයට පත්වූයේ ඉතා අසීරු මොහොතක අගමැති ධුරයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. රාජපක්‍ෂලාට ගෙදර යන්නැයි මොර දුන් බොහෝ දේශපාලන නායකයන් සිටියද මේ අසීරු මොහොතේ රටේ වගකීම භාර ගැනීමට ඔවුන් ඉදිරිපත් වූයේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගත්තේ මහජන මතය නියෝජනය කරන මෙකී 225 දෙනාට අයත් 134 දෙනකු විසිනි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර මනාපය හිමිවී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එය අරගලකරුවන් ඇතුළු හැම දෙනාම

පිළිගත යුතු කරුණකි. දැන් කළ යුත්තේ අරගල ඉස්සරහට දමා ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගෙදර යන්නයි බල කිරීම නොවේ. අරගලකරුවන් වුවද එය රටට පිළිකාවක් නොවිය යුතුය. මහජන මතයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි අයගේ රැවටීම්වලට හසුවී අරගලය නමින් දිගටම රට අඩාල කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන්ට එරෙහිව මහජනතාව පාරට බසින දවස වැඩි අෑතක නොවනු ඇත. දැන් මහජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ රට යථා තත්ත්වයට පත්වනු දැකීමය. තෙල් ටික, පොහොර ටික, ආහාරපාන ආදිය කලට වේලාවට ලැබෙන රටක් යළි බිහිවනු දැකීම ජනතාවගේ පැතුමයි.

ඉතා විවේක බුද්ධියෙන් තීන්දු තීරණ ගෙන උපාය මාර්ග තීරණය කිරීම අරගලයක අරමුණ ඉටුකර ගැනීමට අත්‍යවශ්‍ය බව දූ දරුවන් තේරුම් ගත යුතුය. එම නිසා බොරදියේ මාළු බෑමට උත්සාහ කරන අයගේ වහසි බස්වලට හසුවීමට පෙර නුවණින් කල්පනා කරන්න. මෙය පක්‍ෂ දේශපාලනය කිරීමට යෝග්‍ය කාලයක් නොවේ. ඕනෑම දේශපාලනයක් කිරීමට රටක් ඉතුරු විය යුතුය. එම නිසා අප සියලු දෙනා කළ යුත්තේ බිඳ වැටුණු රට යළි ගොඩගැනීමට හේතුවන සාධනීය යෝජනා සහ විවේචන ඉදිරිපත් කරමින් ආණ්ඩුව නිසිමඟට ගැනීමය.

ඕමාරේ කස්සප හිමි,

ශ්‍යාමෝපාලී වංශික මහ නිකායේ ශ්‍රී  රෝහණ පාර්ශ්වයේ අනුනායක