ගාල්ල බාලදක්ෂ මූලස්ථානයේ වෙළෙඳසල බාලදක්ෂ නමටවත් ගැළපෙන්නේ නෑ

0
14

ගාල්ල බාලදක්ෂ මූලස්ථානයේ වෙළෙඳසලේ කටයුතු ඉතාම අකාර්යක්ෂම බවත් ඊට පැමිණෙන දරුවන් ඇතුළු තමන් නිතරම රස්තියාදු කරන බවටත් ගුරුවරු හා මවුපියෝ චෝදනා කරති.

මෙම කාර්යාලය සතියටම විවෘතව ඇත්තේ පැය 8ක් පමණක් වුවද එම සීමිත කාලයේදීවත් කාර්යක්ෂම වැඩකටයුතු සිදුනොවන බවට ඔවුහු කියති.

“වැඩ හරිම පරක්කුයි. කිසිම වගකීමක් නෑ. සල්ලි බැන්දත් සමහර වෙලාවට නෑ කියනවා. ආපහු හොයනවා. මතක නෑ කියනවා. දවසටම පැය දෙකයි වැඩ. ඒ පැය දෙකේවත් ඉක්මනට වැඩක් කෙරෙන්නේ නෑ. වෙලාවට එන්නෙත් නෑ. දරුවොත් ගුරුවරුත් පෝලිම්වල රස්තියාදු කරනවා. ඇත්තටම ක්‍රමවත් වැඩපිළිවෙළක් නෑ. බාලදක්ෂ කියන නමේ ගෞරවයවත් ඒකේ ඇත්තටම නෑ”

එම කාර්යාලයට පැමිණ සිය කාර්ය අසීරුවෙන් කරගත් කිහිපදෙනෙක් අපට එසේ පැවැසූහ.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලංසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

“ඇත්තටම අපි ස්වේච්ඡා ව්‍යාපාරයක්. මේකෙ ඉන්නේ ගොඩක් ගුරුවරු. අපි ඉස්සෙල්ලා බදාදා සහ බ්‍රහස්පතින්දා හවස දෙකේ ඉඳලා හතර දක්වා කාර්යාලය ඇරලා තියනවා. ඊට අමතරව අපිට ඉල්ලීමක් ලැබුණොත් අවශ්‍ය පරිදි සෙනසුරාදා සහ ඉරිදා කාර්යාලය විවෘත කරනවා.

සාමාන්‍යයෙන් අපිට මේක කාර්යාලයක් විධියට ඇරලා තියන්න බෑ. මොකද අපි ස්වේච්ඡා ව්‍යාපාරයක් නිසා. මේක දරුවන්ට වැඩ කරන තැනක්. ළමයින්ගේ අවශ්‍යතාව අනුව අපි ඇවිත් වැඩ කරනවා.

සමහර අවස්ථාවලදී කාර්යාලය විවෘත කරන වේලාවන් පිළිබඳව යම් යම් වෙනස්කම් සිදු වුණා. ඒකට හේතුව ලෙස පහුගිය දිනවල ඉන්ධන අර්බුදයත් සමඟ ඇතිවූ ප්‍රවාහන දුෂ්කරතා ගොඩක් බලපෑවා. ඒත් අපිට හැකි උපරිමයෙන් අපි වැඩ කරනවා” යැයි පැවැසීය.

ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්