කෙලී අතුරුදන්

0
101

ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රේශර් නමැත්තිය මේ වනවිට අතුරුදන්ව සිටින බව වාර්තා වේ. ඇය රැඳී සිටින ස්ථානයෙන් පිටව ගොස් ඇතත් ඇය මේ වනවිට සිටින ස්ථානයක් පිළිබඳ ඊයේ (18දා) හවස් වනතුරුම තොරතුරක් ලැබී නොතිබිණි. එහෙත් ඇය තවමත් ශ්‍රී  ලංකාවෙන් පිටව ගොස් නැතැයිද කියති. ආගමන විගමන නිලධාරීන් ඇය සොයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ සිටි ඇය ගාලුමුව‍ෙදාර අරගලයට  එක්ව අරගලයේ නොයෙකුත් සිද්ධීන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණි. ගෝඨාගෝගම මුල්කරගෙන ශ්‍රී  ලාංකේය පුරවැසියන් රජයට එරෙහිව ගාලුමුව‍ෙදාර දියත් කළ අරගලයේ වීඩියෝ දර්ශන ඇය අන්තර්ජාලයටද මුදාහැර තිබිණි.

වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින අතරවාරයේ ආරක්ෂක අංශ පිළිබඳව සාවද්‍ය තොරතුරු සහ රටේ පැවැති අරගල තත්ත්වය ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ බවට ඇයට චෝදනාද එල්ල වී තිබිණි.

මේ නිසා ඇයට ලබාදී තිබූ වීසා බලපත්‍රය අවලංගු කර ඇයට පසුගිය 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙසට ආගමන විගමන පාලකවරයා ඇයට දන්වා තිබිණි.

ආගමන විගමන පාලකවරයා සතු එම නීතිමය බලයට තමා අභියෝග නොකරන බවත් නමුත් අරගලයට සාමකාමී අයුරින් මැදිහත්වීමේ කරුණු මුල්කරගෙන ඇය රටින් පිටුවහල් කිරීම ඉතාමත් අයුතු සහගත වන බැවින් ආගමන විගමන පාලකවරයාගේ එම නියෝගය අවලංගු කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණාය.

එහෙත් අභියාචනාධිකරණය ඇය විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබිණි.  එහෙත් ඇය ඉකුත් 15 වැනිදා මෙරටින් පිටව ගොස් නැතැයි වාර්තාවන අතර ඇය සොයා ආගමන විගමන නිලධාරීන් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

2019 අගෝස්තු 14 වැනි දින බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි ස්කොට්ලන්ත ජාතික ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට පැමිණ තිබිණි.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සැකසුණු නොයෙකුත් වීඩියෝ පට මේ වනවිට යූටියුබ් සහ සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කීර්ති මෙන්ඩිස්