කණ්ඩායම් 4ක් අද තරග බිමට

0
26

2022 ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය හෙට (20දා) ඕමානයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

මෙහිදී සිංගප්පූරුව, හොංකොං, එක්සත් ආරබි එමීර් රාජ්‍යය සහ කුවේටය ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම ස¼දහා සටන් වැදීමට නියමිතව ඇති අතර, මෙහිදී ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමය යටතේ තරගාවලිය පැවැත්වේ. එහි ජයග්‍රාහකයන් එළැඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් සපුරාගනු ඇත.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඉන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය .

කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තරග ඕමානයේ අල් අමෙරට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ අතරම මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ජය වාර්තා කරන කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව ඇත. එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි. එහි ‘බී’ කාණ්ඩය සඳහා ශ්‍රී  ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ඇතුළත්ව ඇත.

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අරඹමින් සිංගප්පූරුව සහ හොංකොං දේශය හෙට (20දා) රාත්‍රියේදී තරග වැදීමට නියමිතව ඇත. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මෙම මස 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද සඳහන්ය.

කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27 වැනිදා රාත්‍රියේ ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී  ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙනි. එමෙන්ම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ජයගන්නා කණ්ඩායම සහභාගි වන පළමු තරගය 31 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙවැනි තරගය සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තාන කණ්ඩායම සමඟිනි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරග වටය සැප්තැම්බර් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

සුදුසුකම් ලබා ගැනීමේ තරග කාලසටහන

අගෝස්තු 20 –

සිංගප්පූරුව සහ හොංකොං

අගෝස්තු 21 –

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය

අගෝස්තු 22 –

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව

අගෝස්තු 23 –

කුවේටය සහ හොංකොං

අගෝස්තු 24 –

සිංගප්පූරුව සහ කුවේටය

අගෝස්තු 24 –

හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ගමිත දෙහිපිටිය