ආණ්ඩුවට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය දඬුලේනා

0
40

“රනිල් ඇතුළු ආණ්ඩුවට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ දඬුලේනාගේ ප්‍රශ්නය මිසක් මහජනතාවගේ ආර්ථික ප්‍රශ්නය නොවේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පැවැසීය.

රටේ ජාතික  සත්ත්වයා  දඬුලේනද, කොටියද, හාවද , මුවාද කියා පීඩනයෙන් සිටින  මිනිසුන්ට  වැඩක් නැති බවත් ආණ්ඩුව මෙසේ කරන්නේ ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට බවත්  විද්‍යාරත්න මහතා  අවධාරණය කරයි.

ඔහු ‘මව්බිම’ට පැවැසුවේ මිනිසුන්ට තිබුණු ආර්ථික ප්‍රශ්න කිසිවක් විසඳීම වෙනුවෙන්  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සතපහක උනන්දුවක්  නොමැති බවයි.

“සිදුවන සිදුවීම් දෙස බැලුවම ලෝකයේ දේශපාලනඥයන් මේ වෙන්නේ මොකක්ද කියලා  තුෂ්ණිම්භූත වෙලා  බලන් ඉන්නවා. ඒත්  ගෙඩියක ඉන්න පණුවෝ වගේ අපිට නම් මේ වෙන්නේ මොකක්ද කියලා  තේරෙනවා. ඒ වුණාට රනිල් බලයට ඇවිත් රට ගොඩගන්න තැනක නෑ. ඒ වගේම මිනිස්සු  පෙන්වා දුන්නා ඔවුන්ට  තිබෙන ප්‍රශ්න මොනවාද කියලා. සෞඛ්‍ය පැත්ත, අධ්‍යාපන පැත්ත, ආර්ථික ප්‍රශ්න මේ කිසි දෙයක් ගැන කතා කරන්නෙවත් නැහැ දැන්. රනිල් ඇතුළු ආණ්ඩුවට තියෙන්නේ දඬුලේනාගෙයි, නැවෙයි ප්‍රශ්නය. ඉතින් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කිසිම ගානක් නැහැ.

වෙනදා  මසකට දුන්නු තෙල් දැන් ශ්‍රී අ කෝඩ්  එකකින් කියලා මාස හතරකට දෙනවා. ශ්‍රී අ කෝඩ් කියලා අමුතු දෙයක් නෑ. ඉස්සර තිබුණු කූපන් පොත අලුත් විදිහකට හඳුන්වන එකක් මේක. රට තියෙන්නෙ පරණ තැනමයි. කන්දක් තරම් ප්‍රශ්න නෑඹිලියකින් වහන්න නම්  බැහැ රජෝ කියලා අපි රනිල්ට කියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිකමටවත් හිමිකමක් නොමැති කෙනෙක් අද රටේ ජනාධිපති වෙලා  ඉන්නේ. අපි කියන්නේ කරුණාකරලා ජනවරමක් දෙන්න. ආයේ ජනතාව ඔටුන්න  දෙනවා නම් ආයේ දාගන්න. හැබැයි මේ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනෑ” යැයිද  විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්